ඩෙංගු තවාන් දැමූ ළමා රෝහලට නඩු
12 July 2026 | වරුණි පෙරමුණ
ඩෙංගු තවාන් දැමූ ළමා රෝහලට නඩු
12 July 2026 | වරුණි පෙරමුණ
ලංකාවේ ප්‍රධානම ළමා රෝහල වන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ ස්ථාන රැසකින් ඩෙංගු මදුරු කීටයින් හමුවීම නිසා රෝහලට විරුද්ධව නඩු පැවරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි.
ක්ලීන් ශ්‍රී ලංකා මදුරු මර්දන වැඩසටහනේ නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් රෝහල් පරිශ්‍රය තුළ පසුගිය සිකුරාදා දින (10 වැනිදා) සිදුකළ ඩෙංගු මදුරු මර්දන මෙහෙයුමේදී මෙම ස්ථාන හඳුනාගෙන ඇත. විශේෂයෙන් ඩෙංගු මදුරුවන් සහ මදුරු කීටයින් ස්ථාන දොළහකින් හමුවී තිබේ.
රෝහලේ ඉදිකරනු ලබන නව ගොඩනැගිල්ල තුළ සහ රෝහල් පරිශ්‍රය තුළ ඇති කසළ බැහැර කරන ස්ථානවල සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මෙසේ ඩෙංගු මදුරු කීටයින් සිටියදී හඳුනාගෙන තිබේ.
ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්ම්ක අධිකාරිවත්තගේගෙන් ‘සති අග අරුණ’ සිදුකළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ රෝහලේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය මෙම ස්ථාන නිසි ලෙස පිරිසිදු නොකිරීමේ තත්ත්වය මත මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති බව රෝහල් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදිප් රත්නසේකර තමා සමග පැවසූ බවයි.
රිජ්වේ ආර්යා රෝහලේ පසුගිය දිනවල ඩෙංගු රෝගී දරුවන් 50-75 ක් පමණ වාර්තා වී ඇති අතර, රෝහල තුළ ළමයින් එක්දහස් දෙසීයක් පමණ වෙනත් රෝග සඳහා නේවාසිකව ප්‍රතිකාර ගනු ලබයි.
මීට පෙරද මෙම රෝහල් පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවී ඇති බවට හඳුනාගෙන ඇති අතර, නඩු පැවරීමටද කටයුතු කර ඇත.
මේ වනවිට බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් තිස්පන්දහසක් හමුවී ඇත.

