brand logo
logo
ශිෂ්‍යත්ව ප්‍රතිඵලය එද්දී ධනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින්

ශිෂ්‍යත්ව ප්‍රතිඵලය එද්දී ධනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින්

04 September 2026 | අනූපමා ගල්කඩවල ශ්‍රීමති විජේරත්න - අඹන්පොළ


‘‘අන්න නොම්මරය කියනවා. මුදලිහාමි යන්න, හොඳ පුතා වගේ කප් එක ගහන්න. මහත්තයා එහෙම කියනකොටම මං තරග පටන් ගන්න තැනට යන්න පිටත් වුණා. මං කොහොම ගියොත්ද හොඳ? හැල්මේ දුවගෙන යනවාද? ඉක්මනට අඩිය තියලා අඩි ගමනෙන් යනවාද? අර ළමයි නම් දුවගෙන එනවා. මාත් දුවන්න ඕනෑ. නෑ අර තව ළමයෙක් අඩි ගමනෙන් එන්නේ. මාත් එහෙම යනවා. මං යන හැටියෙන් කාටත් හිතෙයි මං ගොඩේ කොල්ලෙක් කියලා. මම හැල්මේ දුවන්න ඕනෑ. ආ...අර දුවන්න ආපු ළමයි මොනවා කරනවාද? දුවනවා..දුවනවා.. ඒත් එතැනමයි. හපන්නු දුවන්න ලෑස්ති වෙන්නේ එහෙම වෙන්නැති. ඔක්කොම සපත්තුකාරයෝ. පෙළක් ළමයින්ගේ සපත්තුවල උල් හයි කරලා. මං ඉස්සර වෙලා දුවනකොට ඒ ගොල්ලෝ කකුල් පෑගුවොත් පතුරු යයි... මට බැරි වෙයිද මේ ළමයි එක්කලා දුවලා දිනන්න? මේ ඇත්තෝ කොළඹ කොලීජිවල ළමයි. ඔක්කොම මට වැඩිය ලොකුයි. ඒ ඇත්තන්ට කොලීජියේදී දුවන්නත් උගන්නනවාලු. දුවන්න ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද? එදා මං ටිකිරි අයියගේ ‘රබ්බඩ නාම්බා’ පස්සෙන් අඹලා ගිහින් ඉස්සරහ රැක්කේ ඉගෙන ගෙනයැයි. මං හරක් කී දෙනෙක් පස්සෙන් අඹලා අල්ලලා තියෙනවාද? ඒත් මේ වගේ හොඳට සුද්ද කරපු පිට්ටනිවල යැ කටුගාල් අස්සෙන් ගල් මුල් උඩින් වැටවල් උඩින් පැන පැන නේ හරක් පස්සේ අඹන්නේ. නෑ මට දිනන්න පුළුවන්. මං දිනුවොත් අපේ අප්පච්චිලා, අම්මලා, මල්ලිලා හෙම හරියට සතුටු වෙයි. ආ මේ මං ගාවම ළමයෙක් උල් හයි කරපු සපත්තු දාලයි ඉන්නේ. එයා මගේ කකුල පාගයිද?’’


‘කමෝන් සරෝජ්..කමෝන් ප්‍රියාන්...කමෝන් සනත්...’


මී හරක් පස්සෙන්, වළ ගොඩැලි මැද්දෙන්, කටු පඳුරු උඩින් දිව්ව මුදලිහාමි එදා කොළඹ මහ ක්‍රීඩාංගණයක් මැද්දේ නග්න දෙපාවලින් මීටර් සියය තරගය දිව්වේය.


‘‘දහතුනෙන් පහළ මීටර් සියය දිවීමේ තරගය පළමුවැනි ස්ථානය අංක විසි හත කැකිරාව මණ්ඩලයේ, දෙබෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි’’ කියා යකඩ කටින් නිවේදනය කළේය. එහෙම දිනුම් කණුව පහුකළේ ඒ.එච්. පියසේන සූරීන් ලියූ මීටර් සියය කෙටි කතාවේ මුදලිහාමීය.


ඒ.එච්. පියසේන සූරීන් මීටර් සියයේ ලියූ ‘මුදලිහාමි’ එදා මීටර් සියය දිව්වේ කොළඹ නගරයේ මහ සෙනඟ මැද නග්න දෙපාවලිනි.


පසුගියදා ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝජ් තීක්ෂණත් එහෙම දිනුම් කණුවක් පහුකළේය. ඒ වල් අලි ගහන මහ වන මූකලානක් මැදින් පැමිණ ශිෂ්‍යත්ව විභාගය ලියා ලංකාවේ පළමුවැනියා වීමෙන්ය.


ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයට ඒ.එච්. පියසේන සූරීන්ටද නෑකමක් ඇත්තේය. එතුමා 1957 වර්ෂයේදී ඇහැටුවැව ප්‍රාථමිකයේ ගුරුවරයකු ලෙස සේවය කර තිබීම ඊට හේතුවයි.


එහෙම බැලූ කල එදත් අදත් ඇහැටුවැව පැතිවල ‘මුදලිහාමිලා’ වැනි අති දක්ෂ දරුවන් අඩු නැතිව බිහිවී තිබේ.


මෙවර ‘ඇහැටුවැව’ නාමය ලංකාව පුරා රැව් පිළිරැව් දුන්නේ පසුගියදා නිකුත් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලයත් සමගිනි.


දෙලක්ෂ අසූ නව දහස් අටසිය හැටහත් දෙනකු අතුරින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ පසු කළ සිසුන් ගණන පනස් හය දහසකි.


ඔවුන් අතුරින් ලකුණු 193ක් ගත් ගල්ගමුව ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයේ ධනෝජ් තීක්ෂණ වීරසේකර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු හිමිකර ගත් සිසුවා බවට පත්විය.


ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත්ය.


ධනොජ් තීක්ෂණ දරුවා ජීවත්වන්නේ ඇහැටුවැව පාසලේ සිට කිලෝමීටර් හත අටක් එහා ඇති ‘මහමේරුව’ ගමේය.


මහමේරුව පැත්තට වල් අලින්ගෙන් කරදර නැති දවසක් නැති තරම්ය.


කුඩා ධනෝජ්ට සෑම දිනකම පාසල් පැමිණීමටත් යළි නිවෙස බලා යාමටත් සිදුවූයේ මේ අලි ගහන මහ මූකලන් මැදිනි. සහෝදරියත්, පියාත් සිටින මුත් ධනෝජ්ගේ මව ජීවතුන් අතර නැත. එබැවින් මවු සෙනෙහසද ධනෝජ්ට ලැබුණේ ඔහුගේ පියාගෙන් සහ සහෝදරියගෙනි.


‘‘මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මං ශිෂ්‍යත්ව විභාගෙට ටියුෂන් පන්ති ගියේ නෑ. ඉස්කෝලෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒ අතරේ මං තාත්තගේ කුඹුරු වැඩවලටත් උදව් වුණා.’’ ධනෝජ්ගේ කීවේය.


ධනෝජ්ට අනුව ඔහු පාසලෙන් ඉගැන්වූ දෑ ඉතා උනන්දුවෙන් පුහුණු කර ඇත.


‘‘දවසක් තාත්තා මට කිව්වා පුතා ලොකු ලකුණක් ගත්තොත් පුතා ගැන හැමෝම කතා කරාවි කියලා. ටී.වී. එකෙන් පෙන්නාවි කියලා කිව්වා. පත්තරවලත් නම වැටේවි කිව්වා. එහෙම කිව්වාම මට ඒ ගැන ලොකු ආසාවක් ඇති වුණා. මං තව තවත් උනන්දු වුණා.’’


ටී.වී. එකේ නමක් ඇසීමට, පත්තරේ ප්‍රවෘත්තියක් දැකීමට ධනෝජ්ගේ ආසාව සුළු පටු එකක් නොවූයේය.


ආසාවක් තිබූ පමණින් ප්‍රතිඵලයක් නොලැබෙන බව ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පාසලේ විදුහල්පතිගේ, ගුරුවරුන්ගේ කැපවීම දකින කුඩා ධනෝජ් අවබෝධ කරගත්තේය. එනිසාම ඒ තරමටම කැප වී ඔහු පාසල් වැඩ අනලස්ව කළේය.


‘‘මගේ තාත්තා, අක්කා, විදුහල්පතිතුමා, පන්තිභාර ටීචර් සහ පාසලේ සියලු ගුරුවරුන් මේ හැමෝම නිසයි මේ ජයග්‍රහණය මට පහසු වුණේ.’’


අනාගතයේදී ඉන්ජිනේරුවරයෙක් වීම ධනෝජ්ගේ පැතුමයි.


‘‘කොලු පැටියගේ අම්මා නැතිවෙනකොට පුතා පෙර පාසල් යනවා’’ යැයි ධනෝජ්ගේ පියා ඩබ්.බී.එම්. සිසිර කුමාර කීවේය.


අම්මා නැති දරුවෙක්ගේ සංකා දුක් දරාගැනීම සිසිර කුමාරට පහසු කටයුත්තක් නොවීය. ඇරත් ඔහුට තව දියණියක්ද සිටින්නේය. ඇයද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබාගෙන ඉහළින්ම සමත් වී කුරුණෑගල ජනප්‍රිය පාසලක දැන් අධ්‍යාපනය හදාරන්නීය.


‘‘පන්තිභාර ගුරුතුමිය ඇතුළු සියලු ගුරුවරු පුතාගේ අධ්‍යාපන කටයුතුවලට උදව් වුණා. මේ දරුවා ඒ වැඩකරන අතරේ මගේ කුඹුරු වැඩවලටත් එයාට හැකි මට්ටමෙන් උදවු පදවු වුණා’’ යැයි සිසිර කුමාර කීවේය.


සිසිර කුමාර හේනේ බීජ හිටවද්දී ඒවාට අත්උදව් දුන්නේද කුඩා ධනෝජ්ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ දා ද ඔවුන් සිටියේ මෑ වගාව පාළු කරන්න පැමිණෙන මොනරුන් එළව එළවාය.


‘‘මේකා මං ඇහේ තියාගෙන හැදුවා. පුතා දාලා තනියම පැලටවත් ගියේ නෑ. පුතාත් මාත් එක්ක රෑ පැල් රකින්න ගියා. හේන් වගාවලට අත්උදව්වට මට හිටියේ මගේ පුංචි එකා. අම්මා නෑ කියලා කවදාවත් අඬදබරකම් කරලා නෑ.’’


මෙවැනි මැණිකක් ඔප දැමුවේ කෙසේදැයි අසද්දී ධනෝජ්ගේ පියා කීවේ ‘‘මං මහ ලොකු න්‍යායක් දන්නේ නෑ නෝනේ. අම්මා අහිමි වුණ දරුවා මං මයේ තුරුලෙම තියාන රැක්කා’’ යනුවෙනි.


‘‘මයේ පුතා දැනටමත් කුරුණෑගල හද සුව මැදුරෙන් බෙහෙත් ගන්නවා. එයාගේ හදවතේ සිදුරු දෙකකට දිගටම බෙහෙත් කරනවා.


අසනීපයකට ඇරුණාම පුතා හැමදාම ඉස්කෝලේ ගියා. ඒත් අපිට උදේම නියම වෙලාවට ඉස්කෝලේට යන්න පමා වෙනවා. කොල්ලා හැමදාම ඉස්කෝලේ යනකොට පමා වෙනවා. වෙන මොකක් හින්දා නෙවෙයි උදේ පාන්දරම පාරේ වල් අලි ඉන්නවා. ඉතින් ඉස්කෝලේ ටීචර්ට ඒ ගැන කිව්වාම විදුහල්පතිතුමාටත් දැනුම් දීලා අපේ දරුවට මගැරෙන අධ්‍යාපන වැඩවලට අවධානය දුන්නා’’ යැයි ධනෝජ්ගේ පියා සිය මතකය යළි අවදි කළේය.


සිසිර කුමාර ප්‍රාදේශීය සභාවේ මාර්ග කම්කරුවකු ලෙස අවුරුදු හතක්ම වැඩ කළ අ​ෙයකි. රැකියාවෙන් ස්ථීර වීමක් නොලැබූ තැන ඔහු ඉන් ඉවත් විය. එහෙත් අවාසනාවට ඔහු රැකියාවෙන් ඉවත් වූ පසුව එහි ඉතිරි සේවක පිරිසගේ රැකියා ස්ථීර කර තිබිණි. එතැන් සිට සිසිර කුමාර ඔහුගේ දරු දෙදෙනා ජීවත් කරවීමට වන්නිහත්පත්තුවේ කාෂ්ඨක මහපොළව සමග නිරන්තරයෙන් පොර ඇල්ලුවේය.


‘‘කුඹුරු වැඩ කෙරුවා කියලා මට ලොකු ලාබෙකුත් නෑ. සමහර කන්නවල් අතටත් පාඩුයි. කුඹුරු වැඩ කරන්න ණය වෙනවා. කුඹුරු කරලා ආපහු ඒ ණය පියවනවා. එතකොට අතට කිසි ලාබයක් කියලා එකක් නෑ. ඒත් මේ ගින්න මැද්දේ මගේ පුතා මෙහෙව් ජයක් ලැබුවාම මට රටක් රාජ්‍යයක් ලැබුණා වාගේ.’’


දරු දෙදෙනාගේ කටයුතුවලට අමතරව සිය දෙමවුපියන් රැකබලා ගන්නේද සිසිර කුමාර විසිනි.


ජීවිතයේ කොතරම් දුෂ්කර කටුක කාර්තු වුවද මහමේරුවේ තල හේනක් වාගේ ඔවුන්ගේ ජීවිත සියල්ල සම සිතින් දරාගැනීමට හුරුපුරුදු ඒවාය. ධනෝජ් තීක්ෂණගේ පන්ති භාර ගුරුවරිය ඩබ්.ඒ. ආශා කුමුදුනීය. ධනෝජ් පුතාගේ උත්සාහවන්ත ගුණය පිළිබඳව හොඳම සාක්ෂිය ලබාදුන්නේ ඇයයි.


‘‘පුතා දක්ෂ දරුවෙක්. එයා උපතින් ගෙනාව සහජ හැකියාවක් තිබුණා. ගැටලු කරදර බාධා මැද්දේ පුතා එයාගේ තාත්තගේ පිහිට ආරක්ෂාව ඇතිව හරිම උත්සාහවන්තව කටයුතු කළා.’’


දරුවාගේ විශිෂ්ට හැකියාව දැන හඳුනාගත් ආශා ගුරුවරිය සෙනසුරාදා, ඉරිදා දිනවලද දරුවා වෙනුවෙන් ඉස්කෝලේ පාඩම් ඉගැන්වූවාය.


‘‘පුතා පන්තියට එන්නේ ප්‍රමාද වෙලා. වල් අලි නිසා. එන්න විදිහක් නෑ. ඉතින් පුතාට මගහැරෙන පාඩම් මම මේ දරුවට වෙනම කියලා දුන්නා.


ආශා නමැති ගුරුවරියටත් නිවුන් පුත්තු දෙදෙනෙක් සිටිති. ඔවුන්ද සිටිනුයේ ධනෝජ් පුතුගේ වයසේමය.


‘‘සමහර දාට ධනෝජ් පුතා අපේ පුතාලත් එක්කම අපේ නිවසේ ඉන්නවා. මගේ පුතාලා දෙන්නත් ශිෂ්‍යත්ව විභාගය පාස්. ඒත් ධනෝජ් පුතාගේ ජයග්‍රහණය ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්. මේ දරුවා කාටත් කරදරයක් හිංසාවක් නැති අහිංසක දරුවෙක්.’’


ගුරු මවුවරු කියා කීවේ නිකමට නොවන බැව් ආශා කුමුදුනී ගුරුවරිය ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නාය.


‘‘ධනෝජ් පුතා ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පවත්වපු අමතර විභාගවලින් හැමදාම ඉහළම ලකුණු ගත්තා. පුතා ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඉෂ්ට වීම, පාසලට විශිෂ්ට ජයක්’’ ඇහැටුවැව ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. වසන්ත දසනායක මේ ජයග්‍රහණ ගැන එසේ කීවේය.


මෙම විද්‍යාලයේ සිසුහු 117ක් ශිෂ්‍යත්වයට පෙනී සිටියහ. ඉන් 58 දෙනෙකුම ජයග්‍රහණය කර ඇත.


‘‘පන්ති භාර ගුරුවරු, පාසලේ විදුහල්පතිවරයාගේ, දෙමව්පියන්ගේ සහ සියලුම පාසල් ප්‍රජාවගේ සාමුහික උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ ජයග්‍රහණය.’’ ඇහැටුවැව ප්‍රාථමිකයේ විදුහල්පති ලෙස වැඩභාරගත් දා සිට මෙතෙක් පැමිණි ගමන විදුහල්පති ඩී.එම්.වසන්ත දසනායකට මල් ඇතිරූ එකක් නොවීය.


‘‘මේ පාසල භාරගන්න එනකොට මට සුහද පිළිගැනීමක් තිබුණේ නෑ. අධ්‍යාපන සංවර්ධනය මෙන්ම මේ පාසලේ භෞතික සංවර්ධනය වෙනුවෙනුත් කටයුතු කළා. මෙවැනි කටයුතු ලේසි පහසු වුණේ නෑ. මේ වෙනකොට විමර්ශන දහයකට වැඩිය උත්තර බැඳලා තියෙනවා. ඒත් ඒ බාධක මැද මේ පැමිණි ගමන පිළිබඳව ඉතාම සතුටක් තියෙනවා.’’


මේ අතර ධනොජ් තීක්ෂණ වීරසේකර දරුවාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් දරුවාටත් පාසලටත් සුබ පැතීමට මහව අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මොහොමඩ් අලි ජින්නා සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්.ඒ.එච්.එස්. බණ්ඩාර ඊයේ (3 වැනිදා) ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයට පැමිණියෝය.


දැනට වසර පහක් පුරා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කාර්ය දර්ශක වාර්තාවට අනුව දිවයිනේ ඉදිරියෙන්ම සිටින්නේ ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලය අයත් මහව අධ්‍යාපන කලාපයය. ධනෝජ්ගේ ජයග්‍රහණය මෙවර ජාතික වාර්තාවක් ද සමග එය තවත් ඉහළට ගෙනැවිත් තිබේ.

 

More News..