brand logo
logo
පාකිස්තාන නවක‍යෝ ශ්‍රී ලංකා වේග පන්දුව මෙල්ල කරති

පාකිස්තාන නවක‍යෝ ශ්‍රී ලංකා වේග පන්දුව මෙල්ල කරති

10 November 2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇරැඹි ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 281ක් රැස් කරගෙන සිටියේය. මෙහිදී මිලාන් රත්නායක හැර සෙසු සියලු ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වෙත පාකිස්තාන පිතිකරුවන් වෙතින් වේගවත් පිතිකරණයක් දියත් විය.


මෙම තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගන්නා ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමග නවක ක්‍රීඩකයන් බහුල පාකිස්තාන කණ්ඩායම නවකයන් දෙදෙනෙකු වන සිය 8 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසාන් අවෙයිස් සහ සිය මංගල තරගය වෙනුවෙන් සහභාගි වූ ටයියාබ් අරීෆ් සමගින් සිය ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුහු පළමු කඩුල්ලට වේගවත් ලකුණු 86ක් රැස් කළහ. එහිදී ටයියාබ් ලකුණු 57ක් රැස් කළේය. අනතුරුව පිටියට එක්වූ නායක බාබර් අසාම් සහ මොහොමඩ් තාහා ද අර්ධ ශතක රැස් කරමින් දැවී යද්දී, දිනය නිමා වන වීට නොදැවී කඩුල්ලේ රැඳී සිටි සෞද් ශකීල් ලකුණු 57ක් රැස් කරගෙන සිටි අතර, අනෙක් අන්තයේ සිටි කඩුලු රකින් ක්‍රීඩක ගාසි ගෝරි නොදැවී ලකුණු 7ක් රැස් කරගෙන සිටියේය. පාකිස්තානය වෙනුවෙන් ටයියාබ් අරීෆ්, අර්ෆාත් මින්හාස්, මොහොම්මඩ් තාහා සහ සකිබ් ඛාන් මෙම තරගයෙන් ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයෝ බවට පත්වූහ.


ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේ බල ඇණියේ වෙනසක් සිදුකරමින් නිත්‍ය දඟපන්දු යවන්නෙකු නොමැතිව තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ කලකට පසු නිත්‍ය වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු සමගින් තරගයට පිවිසීම විශේෂත්වයක් විය. ඉනිමේ පන්දු යැවීම ඇරැඹූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් මිලාන් රත්නායක හැර සෙසු වේගපන්දු යවන්නන් තිදෙනාටම පන්දුවාරයකට ලකුණු 4කට වඩා වැඩි වේගයකින් පිතිකරණයේ යෙදීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. අසිත ප්‍රනාන්දු ඉනිමේ දැවී ගිය කඩුලු 2කට හිමිකම් කී අතර, සෙසු කඩුලු 3 මිලාන් රත්නායක, ඩිල්ශාන් මධුසංක සහ සොනාල් දිනූෂ විසින් දවාගත්හ. ධනංජය සිල්වා දිනයේ ක්‍රියාත්මක කළ එකම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් වුව ද, නැවත ඔහු භාවිත කිරීමක් දක්නට නොලැබිණි.


දිනයේ දැවී ගිය කඩුලු 5ම උඩ පන්දු වූ අතර එයින් 4ක්ම කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් රැකගත් ඒවා වීම කැපී පෙණුනි.


තරගයේ දෙවැනි දිනය අද (10 වැනිදා) උදෑසන 10ට ආරම්භ වීමට නියමිතය.

 

More News..