Best News Website award
brand logo
logo
  මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට ADBයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට ADBයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

23 November 2026


මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.


මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම, ණය සම්බන්ධ තොරතුරුවල පවතින අඩුපාඩු අවම කිරීම සහ ආර්ථික හා දේශගුණික කම්පනවලට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙම ණය මුදල ලබාදීමේ අරමුණ බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.


ඒ අනුව අනුමත කළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් ඩොලර් මිලියන 100ක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් හිතකර මූල්‍ය පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර තිබේ.


ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 100 එම ව්‍යාපාර සඳහා ආයෝජන ණය පහසුකම් පුළුල් කිරීමට වෙන් කර ඇති අතර, ඉන් ඩොලර් මිලියන 40ක් පරිසර හිතකාමී ආයෝජන සඳහා ලබාදෙන හරිත ණය පහසුකම් වෙනුවෙන් වෙන් කර ඇත.


මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයෙන් සියයට 52කට අධික දායකත්වයක් ලැබෙන අතර, මෙරට සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 45කට දායක වන්නේ ද එම ව්‍යාපාර අංශය බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.


කෙසේ වෙතත්, මූල්‍ය පහසුකම් ලබාගැනීමේ සීමාවන්, ඩිජිටල් තාක්ෂණය භාවිතයේ අඩු මට්ටම සහ දේශගුණික විපර්යාස ආශ්‍රිත ආපදා ඇතුළු විවිධ කම්පනවලට ගොදුරු වීමේ අවදානම හේතුවෙන් එම ව්‍යාපාර තවදුරටත් අභියෝග රැසකට මුහුණදෙන බව ද ඔවුන් සඳහන් කර තිබේ.


මෙම වැඩසටහන යටතේ මූල්‍ය සේවාවන් ඩිජිටල්කරණය පුළුල් කිරීම, ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම, ණය ඇපකර පහසුකම් වැඩිදියුණු කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණවලට සහාය ලබාදීමත්, අසාධාරණ ණය ලබාදීමේ ක්‍රමවේදයන් අවම කිරීමත් මෙම වැඩසටහනේ තවත් අරමුණු අතර වේ.


විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමට ද මෙහිදී අවධානය යොමු කර තිබේ.


ඒ අනුව වැඩසටහනෙන් සහාය ලබන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතරින් අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු හෝ කාන්තාවන්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර විය යුතු බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත.


මීට අමතරව පරිසර හිතකාමී ආයෝජන සඳහා ණය පහසුකම් පුළුල් කිරීම මගින් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කරගැනීමට සහ ඒවාට අනුගත වීමට ව්‍යාපාරවලට සහාය සැපයීමට ද නියමිතය.


එමෙන්ම වර්ධන අවධියේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කොටස් ප්‍රාග්ධන මූල්‍යකරණයට ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කරන නව මූල්‍යකරණ ක්‍රමවේදවලට ද මෙම වැඩසටහන යටතේ සහාය ලබාදීමට අපේක්ෂා කෙරේ.

 

More News..