brand logo
logo
දඹුල්ල නව රෝහල ඉදිකිරීමට යෝජිත භූමිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

දඹුල්ල නව රෝහල ඉදිකිරීමට යෝජිත භූමිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

11 October 2026


දඹුල්ල මූලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට සහ ඉඩකඩ හිඟයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් රුපියල් බිලියන 12ක පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත නව අංගසම්පූර්ණ රෝහල් සංකීර්ණය සඳහා තෝරාගත් භූමිය ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.


මෙම අවස්ථාවට දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි වෛද්‍ය අරුණ කුමාර මහතා ද එක්ව සිටි අතර, ඉඩමේ පිහිටීම සහ ප්‍රධාන සැලැස්මට අදාළ තොරතුරු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළේය.


දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොහොරන්වැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය විසින් වෙන් කරන ලද අක්කර පහක පමණ භූමි භාගයක් මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබේ.


ව්‍යාපෘතියේ මූලික සැලසුම්, ඉංජිනේරු වාර්තා සහ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර ඇත.


එමෙන්ම, මෙම වසර තුළ නව රෝහල් භූමියේ මූලික සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.


නව රෝහල් සංකීර්ණය ඉදිකිරීමෙන් මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරේ ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

More News..