චාමර තවදුරටත් රිමාන්ඩ් - නාමල්ටත් අධිකරණයෙන් නියෝගයක්
20 November 2026
චාමර තවදුරටත් රිමාන්ඩ් - නාමල්ටත් අධිකරණයෙන් නියෝගයක්
20 November 2026
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03කින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම අද (20) ප්‍රතික්ෂේප කෙරුණි.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් දසනායකට එරෙහි නීති කෘත්‍යයන් දෙකක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පෙරවරුවේ යළි කැඳවනු ලැබීය.
පළමුව කැඳවනු ලැබුවේ ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව ගොනුකර තිබිණි.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේ සැකකාර ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.
එමෙන්ම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට මෙම අධිකරණය ලබාදුන් ඇප නියෝගය පසුගියදා කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනමක් නිකුත් කරමින් අත්හිටවනු ලැබූ අතර ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ද ඉදිරි නඩු දිනයේ බන්ධනාගාරය භාරයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03කින් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමේ නියෝගය ප්‍රකාශයට පත්කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති කරුණු දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂ අවස්ථානුගත කරුණු නොවන බව පවසමින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
රක්ෂිත බන්ධනාගාරගතව පසුවන චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා එහිදී ඇප ඉල්ලීමක් සිදුකළේය.
ඔහු පැවසුවේ මෙම සිද්ධියේදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මුල් බී වාර්තාව සහ අවසාන වැඩිදුර වාර්තාව අතර කරුණු එකිනෙකට පරස්පර බවය.
එසේම මෙම අල්ලස් මුදල ලබාදුන් බව කියන දිනේෂ් පෙරේරා නැමැත්තාගෙන් අල්ලස් කොමිසම ඉකුත් වසරේ ජුනි මස 24 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා මෙම මුදල් මගේ සේවාදායකයාට ලබා දී තිබෙන්නේ චාමර සම්පත් දසනායක මහතාගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනයට බව සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
නමුත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවේ දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසු දිනම ඔහු විදේශගත වී තිබෙන බවත්, මෙම නඩුකරයට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සුමතිපාල ලියනආරච්චිගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරමින් ඔහු සහ සැකකාර චාමර සම්පත් දසනායක මහතා එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.


