brand logo
logo
රටම දනී, ඒත් හරිනි නොදනී

රටම දනී, ඒත් හරිනි නොදනී

12 September 2026

සැප්තැම්බර් 13 වැනිදා,

කොළඹදී.

ප්‍රිය හරිනි,


අද නම් මේ ලියුම ලියන්නෙ මගේ බිරිඳගේ බලවත් පෙරැත්තය නිසායි. ඈ කියනවා ඔයා දැන් වැඩියෙ දකින්නත් නෑ, කතා කරනවා ඇහෙන්නෙත් නෑ කියල. ඔයාටත් "කට වහගෙන හිටු" කියල හෙඩ් ක්වාටර්ස්වලින් වාරණ නියෝගයක් ඇවිත්ද දන්නෑ කියල බිරිඳ සංවේගයට පත්⁣වෙලා ඉන්නෙ. හරියට උගන්ඩාවට සල්ලි යැව්වා කියපු නෝනාගෙ කට, කාලෙකට කලින් වැහුවා වගේ.

ඒත් මම බිරිඳගෙන් ඇහුවා ඔයා රටේ අගමැතිනි වෙච්චි, ඔයාගෙ කට වහන්න හයියක් තියෙන්නෙ කාටද කියල. ඒ වුණාට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කියන්නෙ අලංකාර නාම පුවරුවක් විතරයි කියන හැත්තෑහය අවුරුදු සම්ප්‍රදාය, මාලිමාවත් නොපිරිහෙලා අනුගමනය කරනවා නේද කියල එතකොට ඈ අහනවා. ඒ කියන්නෙ ජෙප්පො කරන්නෙත් කලින් හිටපු එවුන් කරපු වැඩමයිද නෝනෙ?

ඔයාගෙ කට වහල හරි වැහිල හරි තියෙන්නෙ විසිදෙක නිසා කියලයි අපේ උන්දැ⁣ සැක කරන්නෙ. මම නම් හිතන්නෙ ආණ්ඩුවෙ නායකයන්ට ඔයාව ඒ ගැන දැනුවත් කරන්න අමතක වෙන්න ඇති කියලයි. දෑවුරුද්දකට කලින් මුළු රටකටම දීපු පොරොන්දු අමතක වෙච්චි කට්ටියට තනි ඔයාව අමතකවීම පුදුමයක් නෙවෙයිනෙ මෙයා. එක්කො ඔයාව දැනුවත් නොකරෙ රටේ අගමැතිනි දැනගන්න තරම් විසිදෙක වැදගත් නෑ කියල හිතල වෙන්නත් ඇති. එහෙම නැත්නම් විසිදෙක ගැන දැනගන්න තරම් අගමැතිනි වැදගත් නෑ කියල හිතල වෙන්නත් ඇති. අන්තිමේ ආණ්ඩුවට ඔයාව විසිදෙක ගැන දැනුවත් කරන්න අමතක වීමෙන් වුණේ හතුරොන්ට ආණ්ඩුව දෙකට කැඩිලා කියන්න අවස්ථාව ලැබීම විතරයිනෙ.

මේ අතරෙ මගේ බිරිඳ නම් කියන්නෙ ඔය අනිත් සිග්නල් කණුවලට වගේ නෙවෙයි ඔයාට නම් තමන්ගෙම මතයක් තියෙනවයි කියල. එච්චර විතරක් නෙවෙයි ඈ කියනවා නිශ්ශබ්දතාවයෙන් පෙනීයන්නේ ඔයා විසිදෙකට අකැමැති බවය කියලත්. ඒත් ඇයි මැඩම් ඔයා විසිදෙකට අකැමැති ?

ජනාධිපතිතුමා නම් කියන්නෙ රටේ ප්‍රශ්න විසඳන්න ඒක ඕනමයි කියලනෙ. එතුමා (අනිත් දේශපාලනඥයො වගේ) පච කෙළින්නෙත් නෑනෙ. කවුරු මොනවා කිව්වත් ඒක කරනවාමයි කියල එතුමා කියන්නෙ ඒක රටට අත්‍යාවශ්‍ය නිසානෙ. අනික ඒක ක්‍රියාත්මක කරන්න ඕනම අවදානමක් ගන්නත් එතුමා සූදානම් කියන්නෙ නිකමට වෙන්න බෑනෙ. නඩුකාරයින්ගෙ සේවා කාලෙ අවුරුදු දෙකකින් වැඩිකරල රටේ සෑම සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඇයි දෙයියනේ ඔයා ඒකට විරුද්ධ? ඔයා විරුද්ධ නැත්නම් මේ වෙනතුරු කවදාවත් ඒක වෙනුවෙන් එක වචනයක්වත් කිව්වෙ නැත්තෙ මොකද?

විසිදෙක ගැන, නොකර කතා වුණාට, ඔයා වෙන අනන්මනන් නම් කතා කරනවනෙ. මේ ළඟදීත් ඔයා කියල තිබුණෙ මේ රටේ මිනිස්සුන්ගෙ මළගෙදරකදි වුණත් උදව්වට ඉන්නෙ මාලිමාවො විතරයි කියල. මේ කතාවට මගේ බිරිඳත් මුළු හදවතින්ම එකග වුණා. ඈ කිව්වා සමුපකාර ඡන්දවලින් පැරදුණාට ජෙප්පො කවදාවත් මරණාධාර සමිති ඡන්දයක් නම් පරදින්නෙ නෑ කියල. ඒ මරණාධාර සමිතිවලට නම් රටේ හොඳම සුදුස්සො ඉන්නෙ ජේවීපියෙ නිසා. ඒ තරම් හොඳට රටට වැඩක් කරගෙන හිටපු මිනිස්සුන්ටනෙ මේ රටේ මෝඩ වාහෙලා අන්තිමේ නොදන්න මඟුලක් භාරදුන්නෙ.

මම,

මානි.

ප:ලි: කොහොම වුණත් අවුරුදු දෙකකට පස්සෙ ඔබතුමී තමන්ගෙ දක්ෂතාව පළමුවැනි වරට ප්‍රදර්ශනය කළ බව නම් අපි අවංකව පිළිගන්න ඕන. ඒ ජනාධිපති විසිදෙක මත්තෙ නහින්න හදද්දි විසිදෙක කියල දෙයක් ගැන දන්නෙත් නෑ, දැනගන්න ඕනත් නෑ වගේ හැසිරීමෙන්. ජයවේවා!

සුන්දර නිහතමානි ද මැල්

 

More News..