brand logo
logo
 ඉරානයෙන් තාර නැතුව පාර හදන වැඩ කොටඋඩ

ඉරානයෙන් තාර නැතුව පාර හදන වැඩ කොටඋඩ

20 July 2026 | කමල් සුරවීර - මහනුවර


ඉරානයෙන් තාර නොලැබීම හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අඩාළ වීමේ ගැටලුවක් උද්ගතව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.


මහනුවර දී පෙරේදා (18 වැනිදා) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කී නියෝජ්‍ය ඇමැතිවරයා ඉරානයේ පවතින යුදමය වාතාවරණය මත මෙම ගැටලුව වඩාත් උග්‍ර තත්ත්වයකට පත් වීමට ඉඩ පවතින බවත් කීවේය.


ඔහු මෙසේ ද සඳහන් කළේය.


මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ. මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.


වෙන රටවල්වලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ පාරවල්වලට ගැලපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා. ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි. ඒ වගේම වෙන රටවල්වලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.


 

More News..