brand logo
logo
සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

13 August 2026

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කර තිබේ.


ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි සහ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.


2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවූ මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම ආරක්ෂා කිරීම සහ ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers වෙත ලබාදී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.


අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ඇති ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් Inkjet කේත මුද්‍රණයට ද අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, කඩදාසි ස්ටිකර් 1,000ක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහාද ගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව ප්‍රශ්න කර ඇත.


ඩිජිටල් ක්‍රමවේදය සඳහා මුද්‍රණ යන්ත්‍ර සහ මූලික යටිතල පහසුකම් සඳහා ආරම්භක පිරිවැයක් දැරීමට සිදුවුවද, සාමාන්‍යයෙන් ඩිජිටල් කේතයක් කඩදාසි ස්ටිකරයකට වඩා අඩු පිරිවැයකින් ලබාගත හැකි බැවින්, අදාළ ගාස්තු ක්‍රමවේදය සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ නැවත සමාලෝචනය කළ යුතු බව කාරක සභාව පෙන්වා දී ඇත.


එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා මත්පැන් නිෂ්පාදන නිරීක්ෂණය කළ හැකි Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මඟින් නිෂ්පාදනවල සත්‍යතාව තහවුරු කිරීමේ පහසුකම් සැලසීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.


නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල පමණක් නොව ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් ද සැලකිල්ලට ගත යුතු බව කාරක සභාව අවධාරණය කළේය. ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවද සඳහන් කර තිබේ.


මේ අතර, අනෙකුත් රටවල ක්‍රියාත්මක වන ගෝලීය හොඳම භාවිතයන් පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.


1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කළ මෙම රෙගුලාසි මඟින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් බලහත්කාරී ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර තිබේ.


තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කර ඇත. 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල වර්තමාන අවශ්‍යතාවලට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව නිලධාරීන් පැහැදිලි කර තිබේ.


අරමුදල වසා දැමීමෙන් පසු එමඟින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය අවම කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම අපේක්ෂාව බවද නිලධාරීන් සඳහන් කර ඇත.

 

More News..