brand logo
logo
  පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි

18 August 2026


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට කළ අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.


අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ. 


අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇත.


බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත ගීත මෙන්ම විවිධ මාතෘකා යටතේ මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කර ඇත.


'ලා දළු බෝපත්', 'මේ ඉර හඳ යට', 'සඳ තරු මල්', 'බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති', 'සෙනෙහස පුදා', 'බුදු බණ ඇසුවා', 'මේ ප්‍රේම කතා', 'අව්වට වැස්සට හුරු මිනිසුන්නේ', 'වෙහෙරක් වගේ', 'පන්සලේ පල්ලියේ' සහ 'සියක් ආයු ලැබ' වැනි ගීත ප්‍රමුඛ වේ.


එමෙන්ම 'සඳකඩපහණ' චිත්‍රපටය වෙනුවෙන් ලියූ 'පෙර සංසාරේ' ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, 'ආලෝකෝ උදපාදී' චිත්‍රපටය වෙනුවෙන් රචිත 'සැඩ පහරක් සේ එකමුතු වූ දා' ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානය ද දිනා ගත්හ.


1987 වසරේ 'සංසාරේ අපි' කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගීතාවලෝකනයට 'ගම්මානේ අපි', 'සමනල කන්ද', 'සංසාරේ ගී යාතිකා', 'බුදු අමා වැස්ස', 'සංසාර චාරිකා' වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම 'සසර දනව්ව' වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයක් ද ඇතුළත් වේ.


1950 වසරේ මැයි 22 වනදා රඹුකන, දෙණියාය ප්‍රදේශයේ දී උන්වහන්සේගේ උපත ලබා ඇත.


මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ ගාල්ල හෙට්ඨාචල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් උසස් අධ්‍යාපනය ලබා ඇතිබව සඳහන්වේ.

 

More News..