Best News Website award
brand logo
logo
නයෝමි චාන් ජපානයේදී මිය ගියේ කොහොමද?

නයෝමි චාන් ජපානයේදී මිය ගියේ කොහොමද?

14 November 2026 | බියංකා නානායක්කාර /අනුපමා ගල්කඩවල

නයෝමි චාන් ගැන මේ වනවිට ලංකාවේ නොදන්නා අයෙක් නැත. ඇය ගැන ඇසට කඳුළක් නොනැගුණ කෙනෙක් ලංකාවේ විතරක් නොව, ලෝකයේම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් අතර සිටින්නට විදිහක් නැත. ඒ, නයෝමි චාන් මේ පුංචි ලංකාවේ උපන්නාට මුළු ලෝකයම දන්නා ‘ටික් ටොක්’ තරුවක් වී සිටි නිසාය. ඒ වගේම ඒ ටික් ටොක් තරුවේ කතාව කාගෙත් හද රිදවන සංවේදී වූ නිසාය. සකුරා මල් පිපෙන රටේ සිදුවූ ලස්සන විවාහයකින් පසුව ඉපදෙන්නට සිටි පුතුව දෑතට ගන්නට පෙරුම් පුරමින් සිටි නයෝමි අවසානයේ අන්තිමේ ඒ පුතු කේචාන් අත තබා එහා ලොවට ගොස් තිබිණි.


වාසනාවට නොව, මහා කැපකිරීම් ගොඩකින් ජීවිතයේ බොහෝ දේවල් ජයගත් නයෝමි චාන් මේ ලොවින් සමුගන්නා විට ඇය ගෙවා තිබුණේ අවුරුදු තිස්තුනක් විතරය.


ආශා නයෝමි වීරවර්ධන ඉපදෙන්නේ අනුරාධපුරයේය. ඒ, මල්ලියකුට හා නංගියකුට වැඩිමල් අක්කා වීය. ඇයම කියනා ලෙසට ඔවුන් ඒ තරමින් යමක් කමක් තිබූ පවුලක් නොවීය. නයෝමිට ජීවිතය ජයගැනීමේ හයිය හිතට ඇතිවන්නේත් ඇය කියා ඇති විදිහටම යමක් කමක් නැතිකමමය. එදවස නයෝමිලා ජීවත් වූයේ ඇගේ පියා මල්ශාලාවක සේවය කර ලද වැටුපෙනි.


නයෝමිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වී ඇත්තේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයයි. ඇය ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු වෙනත් පාසලකට යන්නට පුළුවන් වූ බව කියයි. ඒ පාසලට යාමෙන් පසු නයෝමිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලැබී ඇත.


‘‘6 වසරෙදි ටීචර් කෙනෙක් ජපානය ගැන ස්ලයිස ෂෝ එකක් දාලා පෙන්නුවා. මට ඒක දැක්කට පස්සේ ජපානය ගැන මාර ඉන්ටරස්ට් එකක් ඇති වුණා. ඊට පස්සේ මං හිතුවා මං කවදා හරි ජපානයට යනවා කියලා. කොහොම කොහොම හරි මං උසස් විභාගෙට ජපන් භාෂාව තෝරාගන්නවා.’’

ඒ වනවිට ඇගේ අරමුණ ජපානය නිසා පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා කරමින් ඒ ගමනට මග පහසු කරගත්තාය.


ඇය ජපානයට ගියේ පාසලක ඉගෙන ගන්නය. ඒ අතරේ අර්ධකාලීන රැකියා කරමින් අධ්‍යාපන වියදම් පියවාගෙන ලංකාවේ සේම ‘කට්ට’ කමින් පාසල් අධ්‍යාපනය අවසන් කළාය. අනතුරුව ඇය උපාධිය ලබාගන්නේ ජපානයේ සොකා විශ්වවිද්‍යාලයෙනි.


අනතුරුව ඇය රැකියාවක් ලබාගැනීමට ආයතන 50කට පමණ රැකියා සුදුසුකම් උරගා බැලුවාය. අවසානයේ ජපානයේ ඉහළ ආයතනයක (GAFA) වැඩසටහනේ කළමනාකාර රැකියාවක් ලද්දීය.

මේ අතරතුර කාලයේ ඇය, ඇගේ නැගණිය අයේෂා වීරවර්ධනද ජපානයේ ඉගෙනුමට ගෙන්වා ගත්තාය. අම්මාට තාත්තාට සලකනවාය කියා තේරෙන අවදියේ සපථ කරගත් පොරොන්දුවද ඇය ඉටු කළාය.

නයෝමිට කේචාන් හමුවන්නේ රැකියාවද ලැබුණාට පසුවය. විවාහයෙන් ටික කාලකට පසු ඔවුන්ට දරුවකු ඉපදෙන්නට සිටි පුවත මුළු ලෝකයාම දැන ගත්තේ සමාජ මාධ්‍ය තුළිනි. ඒ වනවිට නයෝමි සමාජ මාධ්‍යයේ යූටියුබ්, ටික් ටොක් හා ෆේස්බුක් හරහා ලෝකයේ ජනප්‍රිය තරුවක් වී සිටියාය. ජපානය ගැන, එරට ආහාරපාන මෙන්ම ජපානයේ අධ්‍යාපනයට හෝ රැකියාවකට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන තොරතුරු සරලව හා සුහදශීලීව බෙදාගත් ඇය, ඇගේත් කේචාන්ගේත් ජීවිතේ පුංචි පුංචි සුන්දර අවස්ථාද එසේ සමාජ මාධ්‍යයේ බෙදා ගත්තාය.


නයෝමි දරුවා ලැබෙන්නට පළාතේ රෝහලට ඇතුළත් වී ඇත්තේ නොවැම්බර් 10 වැනිදාය. නමුත් 10 වැනිදා එරට වේලාවෙන් රාත්‍රියේ සමාජ මාධ්‍යයේ පැතිර ගියේ කිසිවෙකුටත් අදහාගත නොහැකි සිත් කම්පා කරවන පුවතකි. ඒ, පුංචි පුතා වෙනුවෙන් අපමණක් බලාපොරොත්තු පොදි බඳිමින්, දරුවා බිහිකරන්නට රෝහලට ඇතුළත් වූ නයෝමි මියගිය පුවතය. ඒ සම්බන්ධයෙන් හැදූ ගෙතූ අනුමාන කළ විවිධ කතාන්දර සමාජ මාධ්‍යයේ පළ වුවත් ඊට පසුදා නොවැම්බර් 12 වැනිදා නයෝමිගේ නංගි අයේෂා ඇගේ ටික් ටොක් ගිණුමට වීඩියෝපට දෙකකින් ඒ ගැන විස්තර එක්කර තිබුණාය.


අක්කගේ වෝටර් බෑග් එක යට වතුර ඉතුරු වෙලා ඒක ඇලජික් එකක් වෙලා ලේ පාලනය කරගන්න බැරුව ගිය නිසා, අක්කට සිහිය නැති කරලයි බබා අරන් තිබුණේ. ඒත් අක්කට සිහිය ගන්න බැරිවුණා. එකොළහයි ගානේ ඉඳලා හතයි ගාන වෙනකම් ඩොක්ටර්ස්ලා අක්කට සිහිය ගන්න ට්‍රයි කළා. බැරිම තැන අයියයි මායි කෑගැහුවා අක්කගෙ කන් දෙක ගාව ඉඳලා, නැගිටින්න කියනවා ඇහිලාවත් නැගිටියි කියලා. දෙපාරක් නාඩි වැඩ කළා. ඒත් එයාට අල්ලන් ඉන්න බැරිවුණා. එයාගේ මරණයට හේතුව වෝටර් බෑග් එකේ යට තිබුණ ලික්විඩ් එක ලේවලට මිශ්‍ර වෙලා හාට් එකට ගිහින් හාට් එක බ්ලොක් වීමක් වෙලා තියෙනවා කියලා තමයි අපට දුන්න මරණ සහතිකේ තියෙන්නේ.’’

නයෝමිගේ මරණය ගැන සමාජ මාධ්‍යයේ විවිධාකාර වූ මත පළවන්නට පටන් ගත්තේ ජපානයේ වෛද්‍යවරුන්ගේ වරදින් ඇයට දිවි අහිමි වූ බවටද චෝදනා කරමිනි. ඇත්තටම ජපානයේ රෝහල් සහ වෛද්‍යවරු විශේෂයෙන් බබෙක් ලැබෙන්නට සිටින විදෙස් මවකට සලකන්නේ කොහොමද? මේ ජපානයේ වසර විස්සක් පදිංචි ශ්‍රී ලාංකික මවගේ අත්දැකීමයි.

‘‘මගෙ බබාලා තුන්දෙනාම ඉපදුණේ ජපානයේ රජයේ රෝහල්වල. අපිට ඒ රෝහල්වලින් සුහදශීලී සේවයක් සහ දක්ෂ වෛද්‍යවරුන්ගේ සේවාවක් ලැබුණේ. දුවලා දෙන්නා ලැබුණේ කලින් හිටපු පළාතේ රෝහලේ. පුතා ලැබුණේ මේ පළාතේ රෝහලේ. ඩොක්ටර්ස්ලා අපිව හොඳට බලනවා. ලංකාවෙ වගේ මෙහෙත් සායන තියෙනවා බබාලා ලැබෙන්න ඉන්න අම්මට තාත්තට. හැබැයි මෙහෙ විටමින් වර්ග, කැල්සියම් වගේ බෙහෙත් වර්ග බබෙක් ලැබෙන්න ඉන්න අම්මෙකුට එයාලා දෙන්නෙ නෑ. ඒගොල්ලො කියන්නේ ඒවා කෑමෙන් ලබාගන්න කියලයි.

දරුවා ලැබුණාම දවස් පහක් යනකල් අම්මයි දරුවයි වෙනම තියන්නේ. කිරි දෙන්න බබා අඬන වෙලාවට, එයාව බලාගන්න අය දවල්ට අපේ ෆෝන් එකට කතා කරනවා. රෑට ළඟට ඇවිත් අපිත් එක්ක යනවා. ඒ දවස් ගාන නම් ජීවිතේට පුදුම නිදහසක් ගේන්නේ. වාට්ටුවේ ඇඳවල් හයක් හතක් තියෙන්නේ. අපිට බීම වර්ග දාගන්න ෆ්‍රිජ් එකක්, කෑම කන්න රවුම් මේසයක් වාට්ටුවේ තිබ්බා. වාහන නැති අයට ඕන රෑකට රෝහලට එන්න මෙහෙ ටැක්සි සේවාවක් තියෙනවා. වැදගත්ම දේ අපි ගන්නෙ මෙහෙ මහ රෝහලට වුණත් අපි ගෙවන්න ඕන. ඉන්ෂුවරන්ස් එකෙන් 70%කුත්, අපි අතින් 30%කුත් ගෙවන්න ඕන. බබා ලැබෙනකොට ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10ක් විතර අපිට රෝහලට ගාස්තුව යනවා. අපේ ඉන්ෂුවරන්ස් එක හරහා හැම කෙනෙකුටම අවුරුද්දක් පාසා මෙඩිකල් චෙකප් එකක් ලැබෙනවා. අපි අමාරුයි, උණ වගේ කියලා බෙහෙත් ගන්න ගියාට උණ නැත්නම් අපිට බේත් දෙන්නෙ නෑ, හරවලා එවනවා. අනික අපි ජපානේ මොන රෝහලකින් බෙහෙත් ගත්තත් අපේ කලින් බෙහෙත් ගත්ත ඒ සියලු විස්තර ඔවුන් ළඟ තියෙනවා.’’ ජපානයේ වෛද්‍ය සේවාව ගැන කෙටිම කෙටි විස්තරයක් ඇය කීවේ ඇගේ අත්දැකීමට අනුවය.

එවන්ම රෝහලකට බබා ලැබෙන්නට ගිය නයෝමිට ඇතිවූයේ අතපසුවීමක්ද? රෝග තත්ත්වයක්ද? බබෙක් ලැබෙද්දී එසේ විය හැකිදැයි මේ විමසුම ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රදීප් ද සිල්වාගෙනි.

බබාගේ වටේ තියෙන තරලයට සිංහලෙන් කියන්නේ ‘උල්බ තරලය’ කියලා. උල්බ තරලය කියන එක අම්මගේ ගර්භාෂයේ බිත්තියට පිටින් තියෙන්නේ. මොකද, අම්මගෙ පටක වලින් ඒක ඈත් කරලා තියෙන්නේ.

හදිසියේ පටකවල බිඳීමක් ඇතිවුණොත්, එතකොට උල්බ තරලය සමහරක් වෙලාවට අම්මගෙ රුධිරයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් බොහෝ විට බබා හම්බ වෙන අවස්ථාවෙදි තමයි සිද්ධ වෙන්නේ.

ඒ අවස්ථාවේ දරු බොක්කට ඉතා තද ප්‍රබල රුධිර සැපයුමක් තියෙනවා. ඇත්තෙන්ම රුධිරය ඒ අවස්ථවේ නිකම් පිල් වගේ තියෙන්නේ, බබාගේ වැදෑමහ ආශ්‍රිතව. ඉතිං ඒකට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ රුධිරයට කොච්චරක් ඇතුල් වෙනවද කියන්න බෑ. මොකද ඒක ඒ වෙලාවට පරික්ෂා කරන්න බෑ. නමුත් වැඩි විදිහට උල්බ තරලය මවගේ රුධිරයට ඇතුළත් වුණොත්, එතකොට මව ඒකට ප්‍රතික්‍රියා කරනවා, එයාගේ රුධිරයට අනවශ්‍ය එන්නතක් ලැබුණා වගේ.

බබා හම්බ වුණාට පසුත් උල්බ තරලය ඉතුරු වෙලා තිබ්බේ කියලා මෙහි කියනවා. ඒක සාමාන්‍යයි. බබාලා හම්බ වෙන සියලුම දෙනාට වන්නේ ඔහොමයි. බබා හම්බවුණාට පස්සේ ඔක්කොම හෝදගෙන යන්න තමයි දෙවියෝ ඒ ටික දීලා තියෙන්නෙ. ඒ කියන්නෙ බබා හම්බ වුණාට පස්සෙ තමයි ඒ ටික එළියට යන්නෙ. බබා හම්බ වුණාට පසු උල්බ තරලය ලේවලට යන්නේ නෑ. බබා හම්බ වෙන අවස්ථාවේ තමයි ප්‍රධාන වශයෙන් ලේවලට යන්නෙ. අතිශයින් දුර්ලභ අවස්ථාවේ දී හම්බවෙන්න පෙර බඩට තදපාරක් වැදුණොත් මෙය සිදුවීමට හැකියි. නැත්නම් හම්බ වෙන අවස්ථාවේ වෙන්න පුළුවන්.

එවැනි තත්ත්වයක් වුණොත් මේකේ තියෙන නොයෙකුත් සංඝටක නිසා අම්ම පළමුවෙන්, අක්‍රිය වෙනවා.බොහෝ අය එහෙම වුණාම නැවත යථා තත්ත්වයට පත්වෙනවා. ඒත් අර ඇතුල් වුණු උල්බ තරලය හින්දා රුධිරය කැටගැසීම වළක්වන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපේ රුධිරය හදලා එවලා තියෙන්නේ එහෙමයි. ඇතුළේ පද්ධති දෙකක් තියෙනවා. එකක් කැටිගස්සන්න හදනවා. එකක් දිය කරන්න හදනවා. ප්‍රධාන වශයෙන් අපි ගාණට තියාගෙන ඉන්නවා. නමුත් ඒ සමබරතාව එහා මෙහා වෙන්න පුළුවන්. කැටිගැසීමක් වගේම ගැලීමත් වෙන්න පුළුවන්. බොහෝ අයට වෙන්නේ පළමුව සිදුවන තිගැස්මෙන් මේගොල්ලො යථා තත්ත්වයට පත්වෙලා, ඒ අයට බබා ලැබෙනවා. බබා ලැබුණට පස්සේ මේගොල්ලන්ට ලේ යන්න පටන් ගන්නවා. ඕනෑම කෙනෙක්ට ලේ යනවනේ බබා හම්බ වුණාම. නමුත් මෙවන් තත්වයක් මත ලේ යාම පාලනය කිරීම ගොඩක් අපහසුයි. ඒවගේ වෙලාවට දරු බොක්ක අහක් කරත් සැත්කම කරපු තැනිනුත් ලේ යනවනේ.

මෙවැනි අනතුරුදායක දෙයක් වන්න ප්‍රධානම හේතුවක් තමයි, දීර්ඝ ප්‍රසවය සහ උල්බ තරලය නිදහස් නොකර උත්තේජක පාවිච්චි කිරීම.

මේ තත්ත්වයේදී වුණ දේ හරියටම කියන්න බෑ. ඒත් සමස්තයක් හැටියට පළපුරුදු, ඒ වගේම දක්ෂ වෛද්‍යවරයෙක්ට මේ තත්ත්වය ඇති නොවී, ප්‍රසවය කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම මෙහෙම වුණා කියමු... ඒ මොහොතේ එතැන ඉන්න වෛද්‍යවරයාගේ හැකියාව මත එම තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය කොච්චර දියුණු රටවල් වුණත් ඒ දියුණු තැන්වලත් තත්ත්වය අන්තිම වෙන්න පුළුවන්. ඔය කියන ආකාර අනුව මේ ළමයාට මේ තත්ත්වය උද්ගත වුණේ සූතිකාගාරයේදි. එතකොට එතැනින් මෙයාව ඉක්මනින් ශල්‍යාගාරයට ගෙනිහින් මෙයාව නිර්වින්දනය කරනකොට නිර්වින්දනය කරන්නේ ඕනෑම කාර්යයකට ගැළපෙන අයුරින්. එතකොට ඔය දේවල් හිරිවට්ටලා කරන්න බෑ. ලේ යන එක පාලනය කරගන්න බැරිවුණොත් මිනිත්තුවකට ලීටර් 3ක් පමණ ලේ සැපයුමක් තියෙන අවයවයකින් ලේ යනවා. එතකොට අපේ ඇඟේම තියෙන්නේ ලීටර් හයයි. කොච්චර වෙලා යනවද ලේ ටික යන්න... මිනිත්තු කීපයයිනේ. ඊළඟට අපට කියල දීලා තියෙනවා කම්පනය ගැන. එතකොට ඔය කම්පනය එන්න පුළුවන් ලේ අඩුවෙන හින්දා. අනිත් එක, විෂබීජ ගිහිල්ලා ආසාදනය නිසා ඇතිවෙන ෂොක් එක. එහෙම ආවාට පස්සේ මොනවා කළත් වැඩක් නෑ. එතකොට ඒක ආපස්සට හරවන්න බෑ. ඊට පස්සේ ඉක්මනට ලේ දුන්නට වැඩක් නෑ,

මෙය වළක්වා ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ, එවැනි තත්ත්වයන් පෙර දැක එවැනි අවශ්‍යතාවලට රෝගියා භාජනය නොකර ශල්‍යකර්මයක් මගින් දරු උපත කළොත් බොහෝ විට මෙසේ වන්නේ නෑ." ඔහු පැවසුවේය.


 

More News..