හොර ලයිසන්, ජාතික හැඳුනුම්පත් හා වාහන ලියාපදිංචි සහතිකත් තිබිලා
13 November 2026 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
හොර ලයිසන්, ජාතික හැඳුනුම්පත් හා වාහන ලියාපදිංචි සහතිකත් තිබිලා
13 November 2026 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය අසල නිවසක සිදුකළ වැටලීමකින් ව්‍යාජ ලෙස සකස්කළ රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි සහතික හා ජාතික හැඳුනුම්පත් සාදා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු ඇතුළු දෙදෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග ව්‍යාජ ලෙස සැකසූ රියැදුරු බලපත්‍ර 12ක්, ජාතික හැඳුනුම්පත් 08ක්, තාවකාලික රියැදුරු බලපත්‍ර 08ක් හා වාහන ලියාපදිංචි කිරීමේ සහතික 04ක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.ජේ. කහටදෙණිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටියදී වැලිකඩ පොලිස් වසමේ සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍රයක් පිළිබඳ ඇති වූ සැකයක් මත ප්‍රශ්න කර තිබේ.
එහිදී මෙම තාවකාලික රියැදුරු බලපත්‍රය නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව අසල නිවසක පුද්ගලයකුගෙන් රුපියල් 4000/= මුදලකට මිලදී ගත් බවට සැකකරු අනාවරණ්ය කර ඇත.
එම සැකකරුගේ මග පෙන්වීම මත නාරහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආසන්නයේ නිවසක් වටලා නිවෙස් හිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී, ව්‍යාජ ලෙස සැකසූ රියැදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත් තාවකාලික රියැදුරු බලපත්‍ර මෙන්ම වාහන ලියාපදිංචි කිරීමේ සහතික පත්‍ර තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
මොහු ඉතා සූක්ෂම ලෙස බලපත්‍ර සකස්කර රුපියල් 7500/= සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ නාරාහෙන්පිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 හා 52 අතර පසුවන්නන් වන අතර ඔවුන්ව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.


