brand logo
logo
ශිරාන් බාසික්, පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

ශිරාන් බාසික්, පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

15 August 2026

අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්, දින 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.


සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි.


මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුහවල් කරනු ලැබී ය.


අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ, ඊයේ(14) රාත්‍රියේයි.


48 හැවිරිදි ශිරාන් බාසික් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


පසුගිය දිනවල මෙරට බන්ධනාගාරවල සිදුවූ ගැටුම් වලට ඔහුගේ යම් සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳව විමර්ශන කරන බව, පොලීසිය සඳහන් කළේ ය.


පොලීසිය සඳහන් කළේ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට ද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.


මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙන්ම දෙහිවල හා ගල්කිස්ස පොලිස් ස්ථාන මගින් ඔහුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.


ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වන බව, පොලීසිය සඳහන් කළේ ය.


සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි.

 

More News..