brand logo
logo
2027ට පෙර අලුත් කර නොගත්තොත් ගිනි අවි බලපත් අහෝසියි

2027ට පෙර අලුත් කර නොගත්තොත් ගිනි අවි බලපත් අහෝසියි

26 August 2026 | ගයාත්‍රි ගීගනආරච්චි


ගිනිඅවි ළඟ තබා ගැනීම සඳහා බලපත්‍ර හිමි පුද්ගලයන් හෝ ආයතන සියල්ල මෙම වසර අවසාන වීමට පෙර ලබන වසර වෙනුවෙන් තම ගිනිඅවිවල බලපත්‍ර අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.


ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ කෙරේ. ඒ අනුව අදාළ බලපත්‍ර සියල්ල මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර අලුත්කර ගැනීම අනිවාර්ය වන අතර එදිනට පසුව 2027 වසර වෙනුවෙන් බලපත්‍ර අලුත් නොකරන බවද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.


ගිනිඅවි ආඥා පනතේ වන විධිවිධාන අනුව අදාළ වර්ෂය සඳහා බලපත්‍රයක් ලබා නොගත් ගිනිඅවි ළඟ තබා ගත හැකි උපරිම කාල සීමාව දින 10කි. ඒ අනුව අදාළ ඉල්ලුම්පත් භාර දී ඇතත් 2027 ජනවාරි 10 වැනිදා වන විට බලපත්‍රය ලබා ගැනීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය ලබා ගන්නා තෙක් තමන් සතු ගිනිඅවිය තාවකාලිකව ආසන්නතම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ යුතුය.


ඒ අනුව විවිධ සිවිල් පුද්ගලයන් වෙත ජීවිත ආරක්ෂාව සඳහාත් පෞද්ගලික ආයතන වෙත ජීවිත හා දේපළ ආරක්ෂාව සඳහාත් නිකුත් කර ඇති මිලිමීටර 9 පිස්තෝල, .38 වර්ගයේ රිවෝල්වර, මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් වෙත තාවකාලික පදනම මත නිකුත් කර ඇති රජය සතු සියලුම නිදහස් ගිනි අවි, ජාතික රයිෆල් සංගමයේ හා ඊට අනුබද්ධිත ක්‍රීඩා සංගම්වල සාමාජිකයන් සතු සියලුම ගිනිඅවි, පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන වෙත නිකුත් කර ඇති සියලුම ගිනිඅවි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට හා රජයේ නිලධාරීන්ට ජීවිත ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති සියලුම රිපීටර් වර්ගයේ ගිනිඅවි සියල්ලෙහි බලපත්‍ර අලුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කෙරේ.


එම බලපත්‍ර අලුත් කිරීමට අදාළ අයැදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. සම්පූර්ණ කරන ලද අයැදුම්පත් හා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සඳහා වන බලපත්‍ර ගාස්තුව ගෙවන ලද කුවිතාන්සිය සමග ආරක්ෂක අමාත්‍යාංශයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක අමාත්‍යාංශය නමින් ඇති අංක 0007040119 යන ගිණුමට මුදල් බැර කළ හැකිය.


ඉහත සඳහන් නොකළ කෘෂිකාර්මික, සත්ත්ව පාලනය හා දේපළ ආරක්ෂාව ආදිය වෙනුවෙන් නිකුත් කර ඇති සියලුම ගිනිඅවිවල බලපත්‍ර අදාළ දිස්ත්‍රික් ලේකම්වරු විසින් අලුත් කිරීමේ කටයුතු සිදු කෙරේ.


මේ අතර වලංගු බලපත්‍ර රහිත ගිනිඅවි සන්තකයේ තබා ගැනීම දඩ හෝ සිරදඬුවම්වලට ලක්විය හැකි ආකාරයේ වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

 

More News..