brand logo
logo
ශ්‍රී ලංකාවේ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයෙන් සහාය

ශ්‍රී ලංකාවේ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයෙන් සහාය

02 November 2026


ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය වීමට චීනය කැපවී සිටින බවත්, එම පාලම් ඉදිකර සම්පූර්ණ කිරීමෙන් පසු ඒවා "චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම්" ලෙස හැඳින්විය හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවැෂියැංග් මහතා පවසයි.


මෙරට ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය උදෙසා ක්‍රියාත්මක වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින්, නව ඉදිකිරීමක් සඳහා මුල්ගල තැබීමේ උත්සවය ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ (01) පැවැත්විණි.


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවැෂියැංග් මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන පාලම් 14න් 9ක් හදිසි ආපදා සහන වැඩසටහන යටතේද, ඉතිරි පාලම් 5 සාමාන්‍ය සහාය වැඩසටහන යටතේද ඉදිකිරීමට නියමිතය.


මෙම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීම තුළින් දෙරට අතර පවතින ගැඹුරු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බව පෙන්වා දුන් චීන තානාපතිවරයා, සුහද අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැඟුණු මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවන බවත්, එය දෙරට අතර විශ්වාසය හා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට දායක වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


"ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත පාලම් 14ක් ප්‍රතිසංස්කරණය සඳහා සහායවීමට චීනය කැපවී සිටිනවා. ඉන් 9ක් හදිසි ආපදා සහන වැඩසටහන යටතේ සහ 5ක් සාමාන්‍ය සහාය වැඩසටහන යටතේ සිදුකෙරෙනවා. මෙම පාලම් ඉදිකර සම්පූර්ණ කිරීමෙන් පසු ඒවා චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීම තුළින් අප දෙරට අතර ගැඹුරු සහයෝගීතා තවදුරටත් ශක්තිමත් වෙනවා. එය සුහද අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැඟුන සහයෝගීතාවයක්.

අද චීන ශ්‍රී ලංකා සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් පෙරළෙන දිනයක්. මෙම ව්‍යාපෘතිය ව්‍යාපෘතිය ඉදිරියට යාමේදී එමගින් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිකර දේවි. එය අප දෙරට අතර විශ්වාසය හා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරලීමට දායකවේවි. "

 

More News..