විස්සයි20 තරගාවලියේ ජය එංගලන්තයන්ට
18 September 2026
විස්සයි20 තරගාවලියේ ජය එංගලන්තයන්ට
18 September 2026
එංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්වුණි.
කාඩිෆ්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් තරගයට එක්වූ අතර, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ වෙනුවට තරිඳු රත්නායක සහ දිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැඳවා තිබුණි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර පළමු කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගූහ.
ලහිරු උදාර ලකුණු 21කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කළේය.
අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, කඩුලු අඛණ්ඩව බිඳ වැටුණි.
වනිඳු හසරංග ලකුණු 27ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක් රැස් කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 145ක් ලබාගත්තේය.
එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් කඩුලු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර් කඩුලු 2ක් දවාගත්තේය.
ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 12යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.
ඒ අනුව එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කළ අතර, තවත් පන්දු 47ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් විය.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණු Liam Dawson ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර, උඩපන්දු දෙකක්ද රැකගත්තේය.

