brand logo
logo
"රටම එකට" විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන කළුතරට

"රටම එකට" විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන කළුතරට

26 August 2026 | ලක්ඛ්ත විද්‍යසේකර - කළුතර

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන "රටම එකට" විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට අදාළ කළුතර දිස්ත්‍රික් සමුළුව ඊයේ (25) සවස කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුවේදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ අයවැය මගින් වෙන්කළ ප්‍රතිපාදන හරහා සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.


අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හරහා දැනුවත් කිරීම් සිදු කරමින්, මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම සහ සැපයුම යන ජාල දෙකම එකවර පාලනය කිරීමට ජාතික මට්ටමින් කටයුතු යොදා තිබෙනවා. විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මහා පරිමාණ ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් මේ වනවිට මෙරටට ගෙන එමින් සිටිනවා. ප්‍රාදේශීය කමිටු, මහජන ආරක්ෂක කමිටු, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය අංශයේ සියලුම පාර්ශව එකතු කරමින් ශක්තිමත් ජාලයක් නිර්මාණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


එසේම, පූජ්‍ය පක්ෂයේ අනුශාසනා පරිදි, සෑම ආගමික දේශනයකදීම විනාඩි 5-10 ක කාලයක් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


මෙම අවස්ථාව සඳහා රයිගම් – සල්පිටි දෙකෝරළයේ සහ පාණදුර තොටමුණේ අධිකරණ සංඝ නායක පූජ්‍ය තලගල සුමනරතන නාහිමියන් ඇතුළු අන්‍යාගමික නායකයන් හා පූජකවරුන්ද, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස , නන්දන පද්මකුමාර , සංජීව රණසිංහ ,නිලන්ති කොට්ටහච්චි හා ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන්ද , පළාත් පාලන ආයතන ප්‍රධානීන්ද, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුද , කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී.උදයකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු දිස්ත්‍රික්කයේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

 

More News..