brand logo
logo
සිවරාසා අනෝජන් හා ෆේස් බුක්

සිවරාසා අනෝජන් හා ෆේස් බුක්

29 September 2026


වැදගත් නෝනාවරුන් හා මහත්වරුන් හැටියට සමාජය ඉදිරියේ පෙනී සිටින බොහෝ දෙනෙකුගේ සැබෑ මුහුණුවර දැකගත හැක්කේ සමාජ මාධ්‍යවල ඔවුන්ගේ හැසිරීමෙනි. ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් ෆේස් බුක් පෝස්ට් හා කමෙන්ට්ස්වලිනි. ඔවුන් එහිදී ඇතැම් විට සිය විරුද්ධවාදීන් අමතන කුණුහරුප, "බජාර් එකේ අයියලාගේ" පවා මුහුණු ලැජ්ජාවෙන් රතු කරන තරම්ය.


අප ඒ සංඥාපනය ලිව්වේ හිතට එන හැම වචනයක්ම ෆේස් බුක් පෝස්ට්වල කෙටීමේ බරපතළ විපාකය මේ දිනවල විඳිමින් සිටින ශ්‍රී ලාංකිකයාගේ ඉරණම ගැන ලියන්නටය. ඒ සවුදි අරාබියේ රැකියාවක් කරමින් සිටි කල්මුණේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි සිවරාසා අනෝජන්, මහමද්තුමාට අපහාස කිරීමේ වරදට සැප්තැම්බර් 17 වැනිදා එහිදී මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීමය. ඉන්න හිටින තැන අමතකව ෆේස් බුක්වල අනන්මනන් කොටන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මෙන් අනෝජන්ද තමා සිටින්නේ සවුදි අරාබියේ බව අමතකව කළ දෙයින් දැන් බරපතළ අමාරුවක වැටී සිටී.


මේ කතාව ඇරඹෙන්නේ මේ අවුරුද්දේ ජූනි විසිහත්වැනිදා කල්මුණේ ප්‍රදේශයෙනි. වාර්ෂිකව යාපනයේ සිට කතරගමට ස්කන්ධ දේව වන්දනාවේ යන හින්දු භක්තිවන්තයන් සමග ඒ ගමන ගිය "සුබ්‍රමනියම්" නමින් හඳුන්වනු ලැබූ සුනඛයෙකු මුල් කරගෙනය. සුබ්‍රමනියම් යනු නම් ගණනාවකින් හඳුන්වනු ලබන ස්කන්ධ (කතරගම) දෙවියන්ට කියනු ලබන එක් නමකි.


මේ සුනඛයාට කල්මුණේ මුස්ලිම් ජාතිකයෙකු විසින් පාපහරක් දෙනු ලබන අතර සිද්ධිය වීඩියෝ කළ කෙනකු විසින් වහාම එය ෆේස් බුක්වලින් ප්‍රචාරය කරනු ලැබීය. ඒ සමග හින්දු - මුස්ලිම් ෆේස් බුක් වාග් සංග්‍රාමයක් ආරම්භ වන අතර ඉස්ලාම් භක්තිකයන් කතරගම දෙවියන්ටද, හින්දු භක්තිකයන් මහමද්තුමාටද අපහාසාත්මක පෝස්ට් හා කමෙන්ට් දමන තැන දක්වා එය දුරදිග ගියේය. සෞදි අරාබියේ රැකියාවක් කරමින් සිටි කල්මුණේ වැසියකු වූ සිවරාජා අනෝජන්ද මහමද්තුමාට අපහාස කෙරෙන පෝස්ටුවක් දැමීමෙන් ගින්න ඇවිලුණේය.


අනෝජන්ගේ විරුද්ධ පිලේ කෙනකු විසින් මේ පිළිබඳ පැමිණිලි කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර සුනඛයාට පයින් ගැසීමේ සිද්ධියෙන් දින පහක් ගතවන විට සෞදි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. ජූලි 15 වැනිදා පැවැති නඩු විභාගයෙන් අනෝජන්ට පස් අවුරුදු සිර දඬුවමක්ද, රියාල් මිලියන තුනක දඩයක්ද නියම කරනු ලැබීය. ඔහුගේ දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි විදේශ අමාත්‍යාංශය මගින් දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ අතරේදී දඬුවම ලිහිල් වැඩි යැයි කියා සෞදි අරාබි පාර්ශ්වයක් මගින්ද අධිකරණයට අභියාචනා කරනු ලැබීය.


මෙහිදී සෞදි අධිකරණය අපේ විදේශ අමාත්‍යාංශයේ ඉල්ලීම නොසලකා හැර ඇති අතර දඬුවම ලිහිල් වැඩි යැයි කරන ලද ඉල්ලීම විභාගයට ගෙන පස් අවුරුදු සිර දඬුවම මරණීය දණ්ඩනය හැටියට වෙනස් කළේය. දැන් අපේ රටේ විදේශ අමාත්‍යාංශයද, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයන්ද, මහජන සංවිධානද අනෝජන්ගේ මරණ දඬුවම වෙනස් කරගැනීම සඳහා සෞදි අරාබි ආණ්ඩුවෙන් ඉල්ලීම් කරමින් සිටිති. ඒ කවුරුන් කුමක් ඉල්ලා සිටියද අනෝජන්ගේ දඬුවම පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ඇත්තේ සෞදි රජුට පමණය.


වහාබ්වාදී ආගමික නායකත්වය සවුදි අරාබියේ පාලනය විෂයයෙහි ප්‍රබල අධිකාරී බලයක් උසුලති. රජු රටේ උත්තරීතර නායකයා වුවද ඔහුගේ බලයද රඳා පවතින්නේ ආගමික නායකත්වයේ අනුග්‍රහය මතය. එහෙයින් ඔවුන්ගේ තීන්දුවකට පටහැණිව ගොස් සිය රජකමද අභියෝගයට ලක්කර ගැනීමට රජු කිසිසේත් කැමැති නොවනු ඇත.


ශ්‍රී ලාංකිකයන්ට අනෝජන්ගේ ප්‍රශ්නය වැදගත් වුවද සෞදි රජුට එය කොයිතරම් දුරකට වැදගත් වනු ඇද්දැයි යන්න ප්‍රශ්නයකි. තවද සෞදි රජුට බලපෑමක් කළ හැකි ශක්තියක් අපේ රටේ කිසිවකුටත් තිබේද යන්නද විමසා බැලිය යුතු කාරණයකි. ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරයා ලවා ඇමරිකන් ආණ්ඩුවේ ඉල්ලීමක් සෞදි රජුට ඉදිරිපත් කිරීමට ඇතැම් පාර්ශ්ව විසින් දරන උත්සාහය වැදගත් වන්නේ මෙතැනදීය.


මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලාංකික යුවළක් සෞදි අරාබියේදී අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී අදාළ කාන්තාවට මරණ දඬුවම නියම කරනු ලැබීය. වර්තමාන ආණ්ඩුව විසින් හැත්තෑහය අවුරුදු සාපය හැටියට හඳුන්වනු ලබන සමයක විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර එහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති හරහා බලපෑම් කර ඒ කාන්තාව මරණ දඬුවමෙන් මුදවා ගැනීමට සමත් විය. ඒ වැඩපිළිවෙළ මේ අවස්ථාවේද සාර්ථක වනු ඇද්දැයි කීම නම් දුෂ්කරය.


ඊට හේතුව වරදේ ස්වභාවයයි. අනෝජන්ට විරුද්ධව නැගී ඇත්තේ ආගමට අපහාස කිරීමේ චෝදනාවයි. සෞදි අරාබිය වැනි ආගමික රාජ්‍යයක එය සුළුපටු චෝදනාවක් නොවේ.


ඒ නිසා හිතුමතේ ෆේස් බුක්වල වචන කෙටීම ඇතැම් අවස්ථාවකදී මරණීය දණ්ඩනයෙන් කෙළවර විය හැකි බව ඉවක් බවක් නැතිව එසේ කරන්නන් වටහා ගැනීම වටී. එමෙන්ම මෙවැනි රටවල රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල නීති පිළිබඳ දැනුවත් කිරීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුනොවීමද මෙබඳු තත්ත්වයක් ඇතිවීමට මගපාදයි. රටවැසියන්ට මෙන්ම රටේ ආණ්ඩුවටද වගකීමක් නැති වූ කල සිද්ධ වන දේ ආගමික රාජ්‍යවල නීතිවලට ගැරහීමෙන් විසඳාගත නොහැකිය.

 

More News..