තරුණ තරුණියන් මතට ලොල් වීමට ලොකුම හේතුව මිතුරන් - පුනරුත්ථාපන කාර්යාංශය
16 August 2026 | වරුණි පෙරමුණ
තරුණ තරුණියන් මතට ලොල් වීමට ලොකුම හේතුව මිතුරන් - පුනරුත්ථාපන කාර්යාංශය
16 August 2026 | වරුණි පෙරමුණ
දුම්වැටි, විෂ මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට යොමුවූ තරුණ පිරිසෙන් සියයට අසූ එකක් (81%) ඒ සඳහා ඇබ්බැහි වී ඇත්තේ මිතුරු ඇසුරෙන් බව පුනරුත්ථාපන කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වීම සඳහා පුනරුත්ථාපන කාර්යාංශය වෙත පැමිණෙන පුද්ගලයන් ඇසුරෙන් මෙම සමීක්ෂණය සිදුකර ඇත.
පවුල් පසුබිම සහ ජීවත්වන සමාජ පරිසරයෙහි සිටින මිතුරන් මාර්ගයෙන් තාවකාලික සතුට සෙවීම ආදිය තරුණයන් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට වැඩි වශයෙන් බලපා ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.
කෙසේ වුවද මේ වනවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පිරිස් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා පැමිණෙන බවද, තවද මෙම වසරේ ගතවූ කාලයේදී ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් යොමුවී ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.
එසේම අවුරුදු 18-25 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් පුනරුත්ථාපනයවීම් සඳහා යොමුවීමේ වර්ධනයක් දක්නට ඇතැයි ද එම කාර්යාංශය අනාවරණය කරයි.
අධිකරණ නියෝග මත පැමිණෙන පුද්ගලයන් සහ ස්වේඡාවෙන් පැමිණෙන පුද්ගලයන් මෙලෙස පුනරුත්ථාපන කාර්යාංශය මගින් පුනරුත්ථාපනය කෙරේ. මෙම කාර්යාංශය මගින් පුනරුත්ථාපනය වූ පුද්ගලයන් දොළොස්දහසක් (12000) පමණ පසුගිය කාලයේදී සමාජගතවී ඇත. මොවුන් සමාජ ගතවූ පසුවද වසර දෙකක කාලයක් පුනරුත්ථාපන කාර්යාංශය විසින් පසු විපරම් සිදුකරනු ලබයි.
යම් පුද්ගලයකුට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට අවශ්‍ය නම් 076 96 27 761 දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් ඊට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.

