ඉන්දියානු ගිවිසුම්!
11 September 2026
ඉන්දියානු ගිවිසුම්!
11 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිං ලංකාවේ සංචාරය අවසන් කර ඊයේ (10) පිටත්ව ගියේය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කළේ වසර තිස්අටකට පසුවය. ඔහුට පෙර 1988 වසරේදී එවක ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු සහ ආරක්ෂක අමාත්‍යවරයා වූ කේ.සී. පාන්ට් මෙරට සංචාරය කළේය. 2005 වසරේදී එකල ඉන්දීය ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිවරයා වූ ප්‍රනාබ් මුකර්ජි ලංකාවට පැමිණියේ අභාවප්‍රාප්ත විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් මහතාගේ මංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහාය. එනිසා ඔහුගේ සංචාරය නිල සංචාරයක් නොවීය. මෙකී කරුණු අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවලදී බව පැහැදිලිය.
2025 වසරේ අප්‍රේල් මස 5 දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. ඔහුගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ බලගතූ ඉන්දීය දේශපාලනඥයා රාජ්නාත් සිංය. එයට හේතුව ඉන්දීය පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ බලපෑම් කිරීමේ හැකියාවෙන් අගමැති මෝදිට පමණක් ඔහු දෙවැනි වන හෙයිනි. එනිසා මෙකී බලගතු ඉන්දීය දේශපාලනඥයා ලංකාවේ සංචාරය කළේ තීරණාත්මක අරමුණු පදනම් කරගෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉන්දියානු මැති ඇමැතිවරුන්ගේ විදෙස් නිල සංචාර ලංකාවේ නිල සංචාරමෙන් නොවන බව ද අප තේරුම් ගත යුතුය. ඒවා ඉතාම සැලසුම් සහගත, එමෙන්ම විවිධ පැතිවලින් කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසු සිදු කරන සංචාරයන් හෙයිනි. එසේම කී සංචාරවලින් තම රටට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඉන්දීය දේශපාලනඥයෝ වෑයම් කරති.
ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා මෙරට සංචාරය කිරීමෙන් පසු ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් තුනකට එළඹි බව දැනගන්නට ලැබේ. එකී ගිවිසුම්වල අන්තර්ගතය කුමක්දැයි අප දන්නේ නැත. ගිවිසුම්වල නම් පමණක් සඳහන් වී තිබුණි. මෙකී ගිවිසුම්වලට අත්සන් කිරීමට අමතරව අග්‍රාමාත්‍ය මෝදිගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක යෙදුණු බව දැනගන්නට ලැබේ. මෝදිගේ සංචාරයෙන් සහ ඔහුගේ ආරක්ෂක ඇමැතිවරයාගේ සංචාරවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෙහෙවින් අත්සන් කර තිබෙන්නේ ආරක්ෂාව පිළිබඳ ගිවිසුම්ය.
අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන වගන්ති සහ කොන්දේසි මොනවාදැයි යම් සමාජ සංවාදයක් ශ්‍රී ලංකාව තුළ ඇතිවුවද එකී ගිවිසුම්වල කොන්දේසි සහ අනෙකුත් අන්තර්ගතයන් මොනවාදැයි අප තවමත් දන්නේ නැත. ඒ පිළිබඳ විමසූ විටද ආණ්ඩුවේ මැති ඇමැතිවරු විවිධ කතා කීවෝය. සමහරු රස කතා කීවෝය. තවත් ඇමැත්තෙක් සඳහන් කර තිබුණේ ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳ හෙළි නොකිරීමට ඉන්දියාවට එකඟ වී තිබෙන බවය. ද්විපාර්ශ්වික ගිවිසුම් හෙයින් ශ්‍රී ලංකාවට පමණක් ඒ පිළිබඳ හෙළිකළ නොහැකි බවයි එකී ඇමැතිවරයාගේ කතාවෙන් අපට පැහැදිලි වූයේ. එය යකාගේ කතාවකි. ඇමැතිවරයා ප්‍රධාන කණ්ඩායම විපක්ෂයේ සිටියේ නම් එවැනි පිළිතුරකට ලැබෙන ප්‍රතිචාරය සිතාගත හැකිය. ඔවුන් පාර්ලිමේන්තුව දෙවනත් කරනු ඇත. ලංකාව පුරා තාප්ප පෝස්ටර්වලින් වසා දමනු ඇත. එහෙත් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳ පාර්ලිමේන්තුවට හෙළි කිරීමට ආණ්ඩුව තවම සමත් වී නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ ලොකු ලොක්කන් නම් වරක් දෙවරක් ප්‍රකාශ කර තිබුණේ එම පක්ෂය මව්බිමට ද්‍රෝහී වන, හානි වන කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවය.
එසේම අපට රටක් හැටියට බොහෝවිට අනුගමනය කළේ නොබැඳි ප්‍රතිපත්තියකි. එකී ප්‍රතිපත්තිය අනුගමනය කළ හැමවිටම අපට දූපත් රාජ්‍යයක් හැටියට අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට හැකි විය. එහෙත් ආණ්ඩුව වසර එකහමාරකට ආසන්න කාලයක් තුළදී ඉන්දියාව සමග අත්සන් කර තිබෙන ගිවිසුම් ප්‍රමාණයෙන් පැහැදිලි වන්නේ එකී නොබැඳි ප්‍රතිපත්තිය ද නොසලකා හැර තිබෙන බව යැයි කෙනෙකුට කල්පනා කළ හැකිය. එය ගිවිසුම් ගත යටත් වීමක්දැයි යන ප්‍රශ්නයද ඇතිවිය හැකිය.
අප ඉංග්‍රීසින්ටද යටත් වූයේ ගිවිසුම් ගතව බව මේ මොහොතේ සටහන් කර තැබිය යුතුය. ඉන්දියාව පසුගිය දශකවලදී ශ්‍රී ලංකාව සමග විවිධ ගිවිසුම්වලට එළඹීමට කළ වෑයම අප නොදන්නවා නොවේ. වත්මන් ආණ්ඩුව සමග සාර්ථකව ගිවිසුම් රැසකට එළඹීමට ඒ අනුව ඉන්දියාව සමත් වී තිබේ. ආණ්ඩුව ඉන්දියාව මත යැපෙන තැනකට පත්ව තිබේදැයි යන ගැටලුව ද ඇතිවීම අසාධාරණ නොවේ. ඉන්දියානු ගිවිසුම්වලට එරෙහිව මරා ගත්ත දේශපාලන ව්‍යාපාරයක් මගින් රට මෙහෙයවනු ලබන කාලයක ඉන්දියාව සමග මෙතරම් ගිවිසුම් ප්‍රමාණයක් ගැසීමත් ඒවා පිළිබඳ සැබෑව රටට හෙළි නොකිරීමත් සැබවින්ම ගැටලු සහගතය. එනිසා ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කර තිබෙන ගිවිසුම්වල ඇත්ත නැත්ත මහජනතාවට හෙළි කළ යුතුය.

