තෙල් මිල හදිසියේ නගින්‌නේ නෑ
14 September 2026 | අශිකා ජයවීර
තෙල් මිල හදිසියේ නගින්‌නේ නෑ
14 September 2026 | අශිකා ජයවීර
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, මෙම මාසයේ මෙරට ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය.
ඒ අනුව, ගෝලීය ඉන්ධන මිල ගණන් සහ මෙරට පවතින මිල තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් පෙරේදා [12 වැනිදා] පැවැසුවේය.
මැදපෙරදිග යුද උණුසුම ඉහළ යාම සහ හූති කැරළිකරුවන් ලොව ප්‍රධාන නෞකා මාර්ගයක් වන සූවස් ඇළ මාර්ගයට පිවිසෙන රතු මුහුදේ බබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය දෙපස පිහිටි ප්‍රදේශ අත්පත් කරගැනීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 104යි ශත 6ක් ලෙසය. ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බැරලයක මිල ඩොලර් 100ක් ලෙස දැක්වේ. කෙසේ වෙතත්, මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල මෙම මස අවසානයේ යළි සංශෝධනය කිරීමට නියමිතය.
මේ අතර, මෙරට ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම්, ඩීසල් බෙදාහැරීම සීමාකර ඇත. ඇතැම් පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු ද දක්නට ලැබේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩී.වී. ශාන්ත සිල්වා කියා සිටියේ ඉන්ධන මිල ගණනය කිරීමේදී තමන්ට සිදුව ඇති අලාභයත් සමග මෙලෙස ඩීසල් අලෙවිය සීමා කිරීමට අදාළ සමාගම් පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත්, සිපෙට්කෝ පිරවුම්හල් තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් කියා සිටියේය.

