Best News Website award
brand logo
logo
බූස්ස ක්‍රීඩාංගණයකින් හමුවූ මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ බව තහවුරු වෙයි

බූස්ස ක්‍රීඩාංගණයකින් හමුවූ මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ බව තහවුරු වෙයි

27 November 2026 | අනුරාධ ප්‍රියදර්ශන-අම්බලංගොඩ


රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූවේ ක්‍රීඩාංගනයක තිබි ඊයේ (26) දින හමුවූ මල සිරුර යුද හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු මේජර්වරයකුගේ බව රත්ගම පොලිසිය පවසයි .


රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූව ප්‍රදේශයේ චීන ක්‍රීඩාංගනයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් ඊයේ දින උදෑසන රත්ගම පොලිසියට ලද තොරතුරක් මත සොයා ගෙන ඇත. 


ඔහුගේ හිසේ තුවාලයක් තිබී ඇති අතර එය වෙඩි තැබීමකින් සිදුවූවක් බවට අනාවරණය වේ .


 මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත සිදුවූ ඝාතනයක් බවට සැක කරන බව පොලිසිය පවසයි.


 අසල්වාසීන් ප්‍රකාශ කර සිටියේ අලුයම තුනට පමණ රතිඤ්ඤා ශබ්දයක් ඇසුණු බවත්ය.


යම්කිසි පිරිසක් විසින් ඔහු මෙම ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් වෙඩි තබා ඇති බවට පොලිසිය සැක කරයි. 


මියගිය පුද්ගලයා පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ විසින් සිදු කළ අතර මියගිය පුද්ගලයාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන යන ලෙස පොලිසියට දැනුම් දෙන ලදී. 


මියගිය පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමන්ඩෝ බලකායේ සේවය කළ 41 හැවිරිදි මේජර්වරයකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


මියගිය මේජර්වරයා ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොමන්ඩෝ සලින්තගේ හිතවතෙකි.


රත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොරගහතැන්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය ද මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

 

More News..