විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා වැඩි කරනවා නම් එය සමස්ත රාජ්‍ය සේවයටම අදාළ විය යුතුයි
25 August 2026
විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා වැඩි කරනවා නම් එය සමස්ත රාජ්‍ය සේවයටම අදාළ විය යුතුයි
25 August 2026
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්නේ නම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසද වැඩි කිරීමට අවශ්‍ය කටයුතුද ආණ්ඩුව කළ යුතුව ඇතැයි වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය කියයි. පහළ අධිකරණවල විනිසුරුවරුන් මෙන්ම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් අමතක කර ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම වයස වැඩිකිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය සැක සහිත බවද එම සම්මේලනයේ සාමාජිකයෝ පවසති. මේ, ඒ සම්බන්ධයෙන් වෘත්තිය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ‘අරුණ’ ට කියූ දේය.
ආණ්ඩුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා නම් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසත් වැඩි කළ යුතුයි කියලා පහුගිය දවසක වෘත්තිය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය කියලා තිබුණා. එහෙම කියන්න හේතුව මොකක්ද?
ඇත්තටම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරන්න ආණ්ඩුව ගෙන ආ යෝජනාව මේ මොහොතේ අත්‍යවශ්‍ය නැහැ කියන එකයි අපේ විශ්වාසය. අනෙක ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළා කියලා මේ රටේ අධිකරණ පද්ධතියට කිසිම හොඳක් වෙන්නෙත් නෑ.
ඇයි ඔබ එහෙම කියන්නේ?
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක්, අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ පහළ අධිකරණවල පුරප්පාඩු 17ක් තිබියදී ඒ පිළිබඳ කිසිම තැකීමක් නොකර ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම වයස වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළේ ඇයි කියලා අපිට තේරෙන්නේ නැහැ. පහළ අධිකරණවල ඕනෑ තරම් ගැටලු තිබියදී සහ අධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු තිබියදී ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ නැතිව මේ ආණ්ඩුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් වැඩි කරන්න යනවා. ප්‍රශ්න තියෙන පහළට ආමන්ත්‍රණය නොකර ඉහළට ආමන්ත්‍රණය කළාම තියෙන ප්‍රයෝජනය මොකක්ද?
මේ වනවිට අධිකරණ තුළ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විභාග කිරීම සඳහා ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව ආණ්ඩුව පෙන්වා දෙනවා නේද?
ඒක පට්ටපල් බොරුවක්. මේ වන විට අධිකරණවල ගොඩගැහිලා තියෙනවායැයි කියන නඩු ලක්ෂ 11න් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තියෙන්නේ 50,000කටත් වඩා අඩු නඩු ප්‍රමාණයක් පමණයි. ලක්ෂ 9 කටත් වැඩි නඩු ප්‍රමාණයක් තියෙන්නේ දිස්ත්‍රික්, මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ වැනි පහළ අධිකරණවලයි. ආණ්ඩුව කියන විදිහට කඩිනමින් නඩු විභාග කිරීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරනවා නම් කළ යුතුව තිබෙන්නේ ප්‍රශ්නය ඇතිවී තිබෙන පහළ අධිකරණවලට විසඳුමක් දීම මිස ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නොවෙයි. ප්‍රශ්නය තිබෙන තැනට උත්තර නොදී ඉහළට උත්තර හොයන්න යන එක ප්‍රායෝගික නැහැ. මේ නිසා ආණ්ඩුව අධිකරණයට දේශපාලන මැදිහත්වීමක් කරන්න හදනවා කියන බරපතළ සැකය රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් මේ වන විට ඇතිවෙලා තියෙනවා. ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට විනිසුරුවරුන්ගේ සංගමය, මහෙස්ත්‍රාත්, මහා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගම්, රජයේ නීතිඥ සංගමයත්, මහනායක හිමිවරු, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ප්‍රංශ නීතිඥ සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් විරෝධය පළකරලා තියෙනවා. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවාට අපිත් එකඟ නැහැ. අපේ විරෝධය නොතකා යම් කණ්ඩායමක විශ්‍රාම වයස 67 දක්වා වැඩි කරන්න ආණ්ඩුව වරප්‍රසාදයක් දෙනවා නම්, සමස්ත රාජ්‍ය සේවයටමත් මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කළ යුතුව තියෙනවා.
ආණ්ඩුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළොත් සමස්ත රාජ්‍ය සේවකයන්ගේම විශ්‍රාම වයසත් වැඩි කළ යුතුයි කියලා ඔබ කියනවා. එහෙම කියන්න හේතුව මොකක්ද?
මොකද 65,000ක් සිටිය යුතු හෙද සේවයේ දැන් ඉන්නේ 37,000 - 38,000 වැනි පිරිසක් පමණයි. වැටුප් මදිවීම, ජීවත් වෙන්න අමාරුවීම සහ තදබල පීඩනය නිසා හෙද නිලධාරීන් 4,500ක් පමණ රට හැර ගිහින්. කින්නියාවල එක් පුද්ගලයෙක් සියදිවි නසාගත්තා. ඩෙංගු පාලනය කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 500ක් නැහැ. මදුරු ගහනය හොයන කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන් 260ක් සිටිය යුතුයි. ඒත් එතැන ඉන්නේ 190යි. පරිපූරක, අතුරු වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරු වගේම අධ්‍යාපන, ඉන්ජිනේරු ක්ෂේත්‍රවල අයත් පිරිස විශාල ලෙස රට හැර ගිහින්. ඉන්ජිනේරුවන් නැති නිසා ප්‍රවාහනය, වරාය, ටෙලිකොම්, විදුලිබලය වැනි දේ කළමනාකරණය කරගත නොහැකිවෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා ගැටලු ගණනාවක් ඇතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව උත්තර දිය යුත්තේ මෙවැනි බරපතළ ප්‍රශ්නවලට මිස වෙනත් දේකට නොවෙයි. ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයන්ට දෙවිදිහකට සලකන්න බැහැනේ. ඒ නිසා යම් කණ්ඩායමකට විශ්‍රාම වයස වැඩි කරනවා වගේ වරප්‍රසාදයක් දෙනවා නම් සමස්ත රාජ්‍ය සේවයටම ඒ වරප්‍රසාදය දිය යුතුයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරන එකට ඔය තරම් විරුද්ධ ඇයි?
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන මැදිහත්වීම පිළිබඳව ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් කියාගන්න බැරිවීම තුළයි ගැටලුව තියෙන්නේ. මේ කරන දේ වගකීම තමන් ගන්නවා කියලා සාධාරණ හේතුවක් නොමැතිවත් ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයා අවදානමක් ගත යුත්තේ මෙවැනි දේවලට නෙමෙයි. දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි වෙනුවෙන් වන්දි දීමට මිලියන 9,000ක් වෙන් කළාට වියදම් කරලා තියෙන්නේ මිලියන 2,500යි. මහනුවර දිස්ත්‍රික්කයේ එක ගෙයක් හැදුවේ නැහැ, ලක්ෂ 10, 25, 50, 100 වැනි මුදලක් දෙනවා කිව්වට ලක්ෂ පහකට වඩා දීලා නැහැ. අවදානම ගත යුත්තේ මෙවැනි දේවලටයි. අනෙක් පැත්තෙන් තමන්ගේ නඩුව තමන් අහන්නේ නැහැ කියන සම්ප්‍රදායක් තියෙද්දී, මේ වරප්‍රසාදය ලැබෙන විනිසුරුතුමන්ලා ඉදිරියටම මේ නඩුව ආවාම ඔවුන්‍ට ඒ නඩුව අහන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් එනවා. දොස්තරලාගේ හෝ ඉන්ජිනේරුවන්ගේ විශ්‍රාම වයස ව්‍යවස්ථාවේ නැති වුණාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ පොලිස්පතිගේ වයස ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන්නේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට එය වැදගත් නිසා මෙන්ම එය වෙනස් නොකළ යුතුයි කියන ස්ථාවරය නිසයි. ලෝකයේ සමහර රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළ අවස්ථාවල එය අනාගතයට මිස තමන්ට අදාළව ක්‍රියාත්මක කරන්න එපා කියලා ඒ විනිසුරුවරුම කිව්වා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරලා ආණ්ඩුව මේ යෝජනාවට හකුළාගත යුතුයි. එහෙම නැත්නම් ජනමත විචාරණයකට ගොස් ජනතාවට තීන්දුව ගැනීමට ඉඩ දිය යුතුයි. නිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක නොවී ආණ්ඩුව තමන්ගේ දේශපාලන වුමනාවන් ඉටු කරගැනීමට කටයුතු කිරීම අපිට කිසිසේත්ම අනුමත කරන්න බැහැ.
ආණ්ඩුව තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට කටයුතු කරනවා කියන්නේ මොකක්ද?
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරන්නේ ගොඩ ගැහිලා තියෙන නඩු විසඳන්න කියලා ආණ්ඩුව කියනවා. මම මුලිනුත් සඳහන් කළ ආකාරයට ඒක පට්ටපල් බොරුවක්. නීතිඥවරුන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව මේ මාස හයට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් තියෙන්නේ නඩු 100කටත් අඩු සංඛ්‍යාවක්. ඒත් නවලක්ෂ පනස්දහසකට වඩා නඩු සංඛ්‍යාවක් පහළ අධිකරණවල ගොඩගැහිලා තියෙනවා. ඒ නඩු ඉක්මන් නොකිරීම නිසයි බන්ධනාගාර තදබදය ඇති වෙලා, සිරකරුවන් සහ අහිංසක නිලධාරීන් මැරෙන්නේ. එක බන්ධනාගාරයක 30 දෙනෙක් ඝාතනය වුණා. වැරදිකරුවෙක්, සැකපිට ඉන්න සිරකරුවෙක් කියන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටිය යුතු අයෙක්. විනිශ්චයකාරවරුන්ගේ හිඟය සහ සමහර බන්ධනාගාරවල ඡායා පිටපත් යන්ත්‍ර එකක්වත් නැතුව නඩු නැවතිලා තියෙන තත්ත්වයක විනිසුරු වයස දීර්ඝ කළා කියලා බන්ධනාගාර තදබදය නැති වෙන්නේවත් නඩු ඉක්මන් වෙන්නේවත් නැහැ. පහළ අධිකරණවල නඩු ඉක්මන් කළොත් සැකපිට සිටින විශාල පිරිසක් නිදහස් කරන්න පුළුවන්. සමහර නඩුවල තීන්දුවක් දෙන්න අවුරුදු 40ක් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ම පහුගිය දවසක මාධ්‍යයට කිව්වා.
අවුරුදු 40ක් බන්ධනාගාර තුළ සිටිය පුද්ගලයෙක් අවුරුදු හතළිහකින් පසුව නිවැරැදිකරුවෙක් වුණොත් ඒ පුද්ගලයා පමණක් නොවෙයි ඔහුගේ පවුලම විනාශයි. ඒ නිසා පිළිතුරු සෙවිය යුත්තේ පහළ අධිකරණවල ඇති ගැටලුවලටයි. පහළ අධිකරණවල තියෙන පුරප්පාඩු 17 පුරවන්නේ නැතිව ආණ්ඩුව ඉහළට විතරක් අත තියන්න හදන එක සැක සහිතයි. දේශපාලන වුවමනාවන් ඉටු කරගන්නද ආණ්ඩුව මේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න යන්නේ කියන ප්‍රශ්නය අපිට ඇතිවෙනවා. ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන අයුරින් මිස එය විනාශ වන අයුරින් නොවෙයි. එහෙම නොකර අත්තනෝමතිකව ආණ්ඩුව කටයුතු කළොත් අපේ රටේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටත් මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳෙනවා. ජනතාවගේ විශ්වාසය බිඳුණු අධිකරණ පද්ධතියක් පවතින්නේ නැහැ. ලෝකයම සහ රටම විරුද්ධ දෙයක් කළාම විශ්වාසය නැති වෙලා අවිශ්වාසයමයි ජනිත වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයට උත්තරයකුත් නොවෙන, අධිකරණය ගැන විශ්වාසයත් නැති කරන, ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරන ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාවට කිසිම තේරුමක් නැහැ. ඒක නවත්තන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.

