ලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්
01 October 2026
ලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්
01 October 2026
දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
අද (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සියලු දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසයි.
"අපගේ දරුවන්ට වඩාත් සාවධානව සවන් දෙමු. ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් අගය කරමු. ඔවුන්ට අධ්‍යාපනය සහ අවස්ථා පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයකට මුහුණ දීමට අවශ්‍ය සුරක්ෂිතභාවය, අවබෝධය සහ ආත්මවිශ්වාසය ද ලබා දෙමු..." යනුවෙන් ඇය සිය පණිවුඩයෙන් අවධාරණය කරයි.
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ළමා දිනය සැමරෙන අතර, ඩිජිටල් යුගයේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සයිබර් හිංසනවලින් ඔවුන් ආරක්ෂා කිරීම සහ ශාරීරික දඬුවම් මෙන්ම ප්‍රචණ්ඩත්වයට එරෙහි නීති රාමුව ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බව ඇය පෙන්වා දෙයි.
මීට අමතරව, දරුවන් ආර්ථික සූරාකෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා 'කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත' සංශෝධනය කර ළමා සේවය සම්බන්ධ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නංවා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන්ට බියෙන් හා සැකෙන් තොරව වැඩීමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, දරුවන්ට සවන් දී ඔවුන්ගේ හැඟීම් හා අත්දැකීම් අගය කරන ලෙස ඇය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

