Best News Website award
brand logo
logo
 මාස පහක් අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් සොයාගනී

මාස පහක් අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් සොයාගනී

14 November 2026


නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක් මීට මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබිණි.


දැරියගේ පවුලේ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කර ලදී.


එම විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළඳ සැලකින් දිනපතා පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් රැගෙන යන තරුණයෙකු පිළිබඳව පොලීසියට සැක මතුවිය.


ඒ අනුව අදාළ තරුණයා පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑව ප්‍රදේශයකට ගොස් ඇත.


එහිදී ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි බාලවයස්කාර මවක් පොලීසියට නිරීක්ෂණයවී තිබේ.


ඇය මාස පහකට පෙර අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී තිබූ 15 හැවිරිදි දැරිය බව එහිදී පොලිසිය විසින් තහවුරු කරගන්නා ලදි.


අනතුරුව එම බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර බාලවයස්කාර මව සහ මාස දෙකක් වයසැති බිළිඳියද පොලිස් භාරයට ගෙන ඇත.


පොලිස් භාරයට ගත් දැරියගෙන් සහ 23 හැවිරිදි තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ගල් ගුහාව තුළදීම දරුවා ප්‍රසූත කර ඇති බවය.


දරු ප්‍රසූතියෙන් අනතුරුව බිළිඳියගේ පෙකණි වැල කිතුල් කර්මාන්තයට යොදා ගන්නා තියුණු ආයුධයකින් කපා ඇති බව ද විමර්ශනවලදී අනාවරණවී තිබේ.


එමෙන්ම කැලෑවෙන් සොයා ගත් බව කියන අත් බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර ලබාදී ඇති අතර කිතුල් කර්මාන්තයේ දී පැණි සැදීම සඳහා භාවිතා කරන තාච්චියක බිළිඳිය නහවා ඇති බව ද 23 හැවිරිදි පියා පොලීසිය හමුවේ පවසා ඇත.


මෙම සිද්ධියට අදාළව තරුණයාට සහය ලබා දුන් බව කියන ඔහුගේ 36 හැවිරිදි ඥාතීයෙකු ද උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් භාරයට ගත් මාස දෙකක බිළිඳිය සහ බාලවයස්කාර මව පිරිසිදු කර මහනුවර ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන උඩුදුම්බර පොලිසිය විසින් ක්‍රියාත්මකය.

 

More News..