brand logo
logo
පාසල් සිසුන්ගේ  ඒඩ්ස් පරීක්ෂණ වියදම් සුරක්ෂා රක්ෂණයෙන්

පාසල් සිසුන්ගේ ඒඩ්ස් පරීක්ෂණ වියදම් සුරක්ෂා රක්ෂණයෙන්

26 September 2026 | නිලන්ත මදුරාවල

පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණය යටතේ ඒඩ්ස් (HIV) රෝග පරීක්ෂණ සඳහා දරන වියදම් ද ආවරණය කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


මේ බව පළාත් අධ්‍යාපන බලධාරීන්ට, පරිවේනාධිපතිවරුන්ට, රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මෙම රක්ෂණාවරණයට අදාළව අමාත්‍යංශය මගින් මීට පෙර නිකුත් කරන ලද 2024/29 හා 2024/29 (I) යන චක්‍රලේඛක සංශෝධනය කරමිනි. සංශෝධිත චක්‍රලේඛයේ අංකය වන්නේ 2024/29 (II) වේ. මේ අතර අවුරුදු පහළොවත් විසිහතරත් අතර වයසේ පසුවන එකසිය හත්දෙනකු පසුගිය වසරේ ඒඩ්ස් රෝගයට ගොදුරුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.


ඒඩ්ස් රෝග පරීක්ෂණයට අමතරව ඔස්ටියෝ පොරෝසිස්, හෙපටයිටිස්, සමේ පිළිකා රෝග, පිළිකා රෝග ප්‍රතිකාර හා ඒ ආශ්‍රිත පරීක්ෂණ සඳහා වන වියදම් ඉන් ආවරණය කෙරෙන බව නව චක්‍රලේඛයේ සඳහන් වෙයි.


එමෙන්ම පාසලේදී හෝ ඉන් පිටත දී අමාත්‍යාංශය යට​තේ පවතින ආයතන මගින් සංවිධානය කරන හා අධ්‍යාපන බලධාරින්ගේ අධීක්ෂණය යටතේ කරන ක්‍රියාකාරකම්වලදී (අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා උත්සව ආදිය) සිදුවන හදිසි අනතුරු අවස්ථාවලදී රුපියල් ලක්ෂයක ප්‍රතිලාභ මුදලකට සිසුන් රක්ෂණය කෙරෙන බවද එහි සඳහන්ව ඇත. ඊට අමතරව කොඳු ඇට පෙළ විකෘතිවීම නිවැරැදි කිරීම සඳහා පලඳින උපාංගය වෙනුවෙන් වන වියදම විශේෂඥ වෛද්‍යවරයකු හෝ ආයුර්වේද වෛද්‍යවරයකු නිර්දේශ කළ යුතුය යනුවෙන් සංශෝධනය කර තිබෙන අතර කර්ණසංඛ උපකරණ අලුත්වැඩියා කිරීම සහ බැටරි මාරු කිරීම හැර ඒ සඳහා වැය වන සේවා ගාස්තුව ද ගෙවන බව සංශෝධිත චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.


මීට අමතරව හදිසි අනතුරක් හේතුවෙන් සිදු කළ යුතු වන උකුල්, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා වන ප්‍රධාන ශල්‍යකර්ම වලට වැය වන වියදම ද මෙම රක්ෂණාවරණයට අයත් වෙයි.

 

More News..