ඉන්දියාවේ සිටින ඉරාන නාවිකයින්ගෙන් පිරිසක් යළි ඉරානයට
14 March 2026
ඉන්දියාවේ සිටින ඉරාන නාවිකයින්ගෙන් පිරිසක් යළි ඉරානයට
14 March 2026
ඉන්දියාවේ කොචින් වරායේ නැංගුරම් ලා තිබූ ඉරානයට අයත් ‘අයිරිස් ලවාන්‘ නෞකාවේ සිටි නාවිකයින් අතරින් පිරිසක් ද ඊයේ (13) දින ඉරානය වෙත රැගෙන ගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, 183 දෙනෙකුගෙන් සමන්විත එම නෞකාවේ කාර්යය මණ්ඩලය අතරින් පිරිසක් විශේෂ ගුවන් යානයකින් ආමේනියාව වෙත රැගෙන යාමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බවය.
එම නාවිකයින් පිරිස සහ ශ්‍රී ලංකාවේ සිට රැගෙන ගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ආමේනියාවේ සිට ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉරානය වෙත රැගෙන යාම සිදුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඉන්දියාවේ නාවික අභ්‍යාසය සඳහා පැමිණි ඉරාන තවත් යුද නෞකාවක සිටි නාවිකයින් 204 දෙනෙකු ද මෙරට භාරයේ පසුවන අතර ඔවුන් මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටිති.
මෙරට භාරයේ පසුවන මෙම ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉරාන තානාපති කාර්යාල සහ විදේශ කටයුතු අමාත්‍යංශ බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වෙයි.
ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයක් සඳහා සහභාගීවී යළි ඉරානය වෙත යමින් සිටි ''අයිරිස් ඩෙනා'' නෞකාව ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ලවු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වු අතර එහි සිටි නාවිකයින් 32 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මුදාගනු ලැබීය.
නෞකාවේ සිට මියගිය ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබූ අතර එම මළ සිරුරු කරාපිටිය රෝහලේ ජංගම ශීතාකාර තුළ තැන්පත් කර තැබීමෙන් පසු ඊයේ (13) දිනයේ විශේෂ ගුවන් යානයකින් ඉරානය වෙත රැගෙන යාමට පියවර ගැනිණ.
ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු මුදාගත් ඉරාන නාවිකයින් 32 දෙනා අතරින් සුවය ලැබූ ඉන් 28 දෙනෙකු මේ වන විට කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඉරාන නාවිකයින් සිව් දෙනෙකු තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

