නොබෙල් සාම තෑග්ග ලංකාවම දන්න නවනීදම් පිල්ලෙයිට
10 October 2026 | - හර්ෂණී දිසානායක
නොබෙල් සාම තෑග්ග ලංකාවම දන්න නවනීදම් පිල්ලෙයිට
10 October 2026 | - හර්ෂණී දිසානායක
විවිධ විෂයයන් අරබයා නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබූවද, මුළු ලොවම බලා සිටින්නේ විශේෂ ත්‍යාග දෙකක් ගැනය. ඒ නොබෙල් සාම ත්‍යාගය හා සාහිත්‍යය ත්‍යාගයයි. මේ අතරින් සාම ත්‍යාගය ගැන වෙනදාට වඩා විශේෂ උනන්දුවක් රට රටවල් අතරේ ඇති වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගිය වසරේ එම තෑග්ග තමාට දෙන්නැයි කී නිසාය.
ලෝකයම මෙවර බලා සිටියේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන්නා කවුරුන්ද කියාය. පසුගිය වසරේදී වාගේම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේදීත් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පෙරමග බලා සිටියේය.
ඒත් ඒ සියලු හීන මෙවරත් බොඳ කරමින් නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ නවී පිල්ලේය. එසේත් නැතිනම් ලංකාවේ අය ඒ තැනැත්තියව හොඳින්ම හඳුනන්නේ නවනීදම් පිල්ලේ යනුවෙන් කී විටය.
නෝර්වේ ඔස්ලෝ නුවර ගිය සිකුරාදා නව වැනිදා පැවැත්වූ උත්සවයේදී නෝවීජීයානු නොබෙල් කමිටුව විසින් එය ඇයට පිරිනැමීමට අදාළ නිර්ණායක ඉදිරිපත් කර තිබිණි.
ඒවා වන්නේ "නීතියේ ආධිපත්‍යය, ජාතික හා ජාත්‍යන්තර සාමය සහතික කිරීමට සහ ගැටුම් අවිහිංසාවාදීව විසඳීම සඳහා ඉටුකළ මෙහෙවර" අගයමින් මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් ඇය පිදුම් ලබන බවය.
නවනීදම් පිල්ලේ 2008 සිට 2014 දක්වා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවා නුවර මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරිය ලෙස කටයුතු කළාය. ඒ කාලවකවානුවේ මෙරට පැවැති යුද්ධය සම්බන්ධයෙන් ලංකාව ප්‍රසිද්ධියේ විවේචනය කළ චරිතය වූයේ නවනීදම් පිල්ලේය.
ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදී මෙරට හමුදාව දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවත් චෝදනා කළාය.
මේ හේතුන් නිසා නවනීදම් පිල්ලේ සහ එකල ශ්‍රී ලංකා රජය අතර මතභේදාත්මක සිදුවීම් රාශියක් ඇති විය. ඒ අතරේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම වූයේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය වූවා දැයි කියා සොයා බලන්නට ඈ නිල සංචාරයකට ලංකාවට 2013 වසරේදී පැමිණෙන්නට සිටි මොහොතේ එකල මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ මර්වින් සිල්වා ඇයව විවාහ කරගැනීමට කැමැති බව කී කතාවය. එපමණක් නොව ඇයව විවාහ කරගෙන රට වටා කැඳවාගෙන ගොස් රටේ සැබෑ තත්ත්වය පෙන්වීමට තමන් සූදානම් වන බවත් ඔහු උපහාසාත්මකව කියා සිටියේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ කතාවත් සමග නවනීදම් පිල්ලේ ලංකා ආණ්ඩුව සමග දැඩි කෝපයක පසු වූවාය.
මේ හේතු කාරණාවන් නිසා ඈ දිගින් දිගටම මෙරට හමුදාවන් යුද අපරාධ කළා යැයි චෝදනා කළාය.
මේ අතර නොබෙල් සාම ත්‍යාග කමිටුව නවනීදම් පිල්ලේට සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දක්වා තිබිණි. ඒ මෙම වසරේ සම්මානලාභියා යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර සම්බන්ධයෙන් නඩු පැවරීම සහතික කිරීම සඳහා දායක වී ඇති බවයි.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් හී ඉන්දියානු දෙමළ සම්භවයක් සහිත පවුලක උපත ලැබූ පිල්ලේ වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය වර්ණභේදවාදයට එරෙහිව නැගී සිටි නෙල්සන් මැන්ඩෙලා සහ අනෙකුත් අය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ නඩු කිහිපයකම විනිසුරුවරියක් ලෙසත් සේවය කළාය.
නොබෙල් සාම තෑග්ග දිනාගත් නවනීදම් පිල්ලේගේ නම ලංකාවට හොඳට හුරුපුරුදු වුවත් සාහිත්‍ය තෑග්ග ගැනත් ලාංකිකයෝ උනන්දුවක් දක්වන බව රහසක් නොවේ.
මෙරට පුරවැසියෝ සැප්තැම්බර් මාසය ගෙවා දැමුවේ සාහිත්‍ය උණුසුම මැදය. පොත් කියවන තාරුණ්‍යයක් පොත් සොයන තාරුණ්‍යයක් දුටු මෙවර ජාත්‍යන්තර පොත් දැක්ම නිසාම නොබෙල් ත්‍යාග අතරේ වඩාත් වැදගත්ම සාහිත්‍ය ත්‍යාගය හිමිවූ ඇය ගැනත් අද සැවොම කතාවේ.
ඇය කැනේඩියානු කිවිඳියක් සහ ලේඛිකාවක් වන ඈන් කාසර්න්ය. ඇය 2026 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වූයේ කුමන නිර්ණායක යටතේ දැයි සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන තැනැත්තිය තෝරාගන්නා ස්වීඩන් ඇකඩමිය විසින් මෙසේ ඉදිරිපත් කර තිබිණි.
"සම්භාව්‍ය සම්ප්‍රදාය සමග සෙල්ලක්කාර සංවාදයක යෙදෙමින්, සමකාලීන සාහිත්‍ය සඳහා නව ආකෘති නිර්මාණය කර ඇති බවට ඇයගේ නිර්භීත හා නව නිමැවුම් කාර්යය වෙනුවෙන් මේ සාහිත්‍ය ත්‍යාගය ඇයට පිරිනමනු ලබයි.." යැයි අට වැනි බ්‍රහස්පතින්දා ඇයව තෝරා ගනිමින් කීවේය.
ඈන් කාසර්න් කාව්‍යය, ප්‍රබන්ධ සහ පැරණි කෘතිවලට නව පරිවර්තනයක් දීම සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක්ව ඇති සම්භාව්‍ය කෘති පිළිබඳ මහා දැනුමැති මහාචාර්යවරියකි. 76 හැවිරි දිවියේ පසුවන ඇය මේ වනවිට කෘති විස්සකට වඩා රචනා කර ඇති අතර ඉන් සමහර ඒවා නාට්‍යවලටද අනුවර්තනය වී ඇත.
ඇයගේ කෘති සම්බන්ධයෙන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමූ ඇකඩමිය විස්තර කරන්නේ ඇය ලියූ ග්‍රීක මිථ්‍යා කතා සහ පශ්චාත් නූතන නවෝත්පාදයන් සාහිත්‍ය ලෝකයේ නව භාෂාවක් ගොඩනගා ඇති බවයි. ඒවා ඉතිහාසය සහ වර්තමාන න්‍යායික සංවාදයක් බවට පත්කරන විශිෂ්ට කලාකෘති ලෙසත් ඔවුන් දක්වා ඇත.
මෙවර සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ලෙස හිමිවන්නේ ස්වීඩන් ක්‍රෝනා මිලියන දොළහකි. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයකි.
මේ ත්‍යාගය ප්‍රකාශයට පත් කරන විට ඈන් පදිංචිව සිට ඇත්තේ අයිස්ලන්තයේය. කැනඩාවේ ටොරොන්ටෝ හී උපත ලැබූ ඈන් සිය ජීවිතයේ හොඳම කාලය ගෙවා දමන්නට තීරණය කර ඇත්තේ අයිස්ලන්තයේය. ඇයට එරටේ ද පුරවැසිභාවය හිමිය.

