Best News Website award
brand logo
logo
ධුර කාලය නිමා කරන ඉන්දීය මහකොමසාරිස්  අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් සමුගැනීමේ ආශිර්වාද ලබා ගනී

ධුර කාලය නිමා කරන ඉන්දීය මහකොමසාරිස් අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් සමුගැනීමේ ආශිර්වාද ලබා ගනී

29 November 2026


සිය ධුර කාලය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක සමුගැනීමේ ආශිර්වාද ලබාගෙන තිබේ.


මෙම හමුවේදී, 'දිට්වා' සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා විසින් මහනාහිමිවරුන් දැනුවත් කරනු ලැබීය.


එමෙන්ම, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ යෝජිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අදාළ තොරතුරු ද ඒ මහතා විසින් උන්වහන්සේලා වෙත ඉදිරිපත් කර ඇත.


මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී පවසා තිබේ.


මේ අතර, 'දිට්වා' සුළි කුණාටුව සිදු වී වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, මෙය "ඔරොත්තු දීමේ ශක්තිය පිළිබඳ වසරක් සහ සහයෝගීතාවයේ බැඳීමක්" බවයි.


එම ආපදාවෙන් විපතට පත් ජනතාව මෙම අවස්ථාවේ සිහිපත් කරන බවත්, ශ්‍රී ලංකාව පුරා ජනතාව පෙන්නුම් කළ ධෛර්යය සහ ඔරොත්තු දීමේ ශක්තිය අගය කරන බවත් එම පණිවුඩයේ දැක්වේ.


තවද, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සහ යළි ගොඩනැගීම උදෙසා ගන්නා ප්‍රයත්නයන්හිදී නොසැලෙන හවුල්කරුවකු වශයෙන් ඉන්දියාව අඛණ්ඩව රැඳී සිටින බව ද එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

More News..