බෙලිඅත්තේ සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්
23 January 2024 | තිස්ස රවින්ද්‍ර පෙරේරා/ එෆ්. අස්ලම්/අනීෂා මානගේ
බෙලිඅත්තේ සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්
23 January 2024 | තිස්ස රවින්ද්‍ර පෙරේරා/ එෆ්. අස්ලම්/අනීෂා මානගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනාගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිමිකරුවා වන අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඝාතනය කිරීමට කොස්ගොඩ සුජී විසින් මීට ඉහතදීත් වෙඩික්කරුවන් යොදවා ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
එහිදී රෝයල් බීච් සමන් අනූනවයෙන් දිවිබේරා ගත් බවත් ඔහුගේ විදෙස් ආයෝජකයා වෙඩි වැදී තුවාල ලද බවත් පාතාල මර්දන ඒකකවල නිලධාරීන් පෙන්වා දෙති.
එස්.ටී.එෆ්. නඳුන්ගේ බලය පැවැති කාලයේ පටන් කොස්ගොඩ සුජී හා රෝයල් බීච් සමන් අතර විරසකයක් පැවැතුණු බවත් සුජීගේ එදිරිවාදීන් වූ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සමග සමීප සබඳතා පැවැත්වූ නිසා රෝයල් බීච් සමන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට පෙර සිටම ඉලක්ක වී සිටි බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්ගොඩ සුජී ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර මෙරටට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණේ මීට පෙර සිදුකළ මිනිස් ඝාතන රැල්ල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලටය.
තංගල්ල අසේල නමැති පාතාල ක්‍රියාකාරිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සාක්ෂිකරුවකු 2022 ජුනි 5 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට පැමිණි අයට රැකවරණය ලබාදුන් චෝදනාව රෝයල් බීච් සමන් වෙත එල්ල විය. ඒ අනුව 2022 අගෝස්තු 24 දා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම සිද්ධියේ නඩුවට සහභාගි වීමට සමන් පෙරේරාට අයත් ඩිෆෙන්ඩර් රථයෙන් පස්දෙනා පැමිණ තිබේ. එම පස්දෙන අතර නඩුවට චෝදනා එල්ල වූ තිදෙනකුද සිටි බව පොලිසිය කියයි.
මෙම ඝාතනයට පලිගැනීමක් ලෙස පෙන්වා කොස්ගොඩ සුජී විසින් ඝාතනය මෙහෙයවන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම පෙන්වා දෙයි.
මෙහිදී ඝාතනයට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවන් දෙදෙනා දක්ෂ වෙඩික්කරුවන් බවත් ජීප් රථයේ රියැදුරුට වෙඩි තබා අනෙක් පිරිස පසුපස හඹාගොස් නිශ්චිතව ඉලක්කය ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ.
දකුණේ පාතාලයේ වෙඩික්කරුවන් ලෙස යුද හමුදාවේ විශේෂ ඒකකවල වෙඩික්කරුවන් මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ සිටි වෙඩික්කරුවන්ද කොස්ගොඩ ඇතුළු දකුණේ පාතාල කල්ලිවල ඝාතනවලට යොදවා ගෙන තිබිණි.
ඝාතනය සඳහා පැමිණි ජීප් රථය පෙරවරු 7.03ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමෙන් ඇතුළු වී බෙලිඅත්ත පිටරවුමෙන් රථය තංගල්ල දෙසට ධාවනය කර තිබෙන බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත.
එසේම ඝාතනයට ලක්වූ පිරිස පැමිණි ඩිෆෙන්ඩර් රථය පෙරවරු 7.40ට කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් ඇතුළු වී බෙලිඅත්ත දෙසට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ පිරිස තංගල්ල අධිකරණයේ විභාග වන නඩුවට පැමිණෙන බවට තහවුරු කරගැනීමෙන් පසු ඝාතකයන් සැලසුම් සහගතව කල්වේලා ඇතිවම ඔවුන් පැමිණෙන මාර්ගයට ජීප් රථය එක්කර තිබෙන බවද විමර්ශන මගින් අනාවරණය වී ඇත.
මෙම ඝාතනය ජීප් රථයේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවි දෙකකින් සිදුකර ඇති අතර ඝාතන සිදුවූ ස්ථානයේ තිබී පතොරම් 36ක් ද සොයාගෙන තිබිණි.
ඝාතකයන් පැමිණි ජීප් රථය ව්‍යාජ අංක තහඩු සවිකර ගනිමින් පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.