brand logo
logo
  තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් 2027 මුල් කාර්තුවේදී

තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් 2027 මුල් කාර්තුවේදී

16 September 2026


ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ "තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026" අමතමින් අද (16) දින රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.


"ස්වශක්තීන් මත පදනම්ව සමාජීය පරිවර්තනයක නියමුවන් ලෙස, අයිතිවාසිකම් උරුම කරගත් තාරුණ්‍යයක්" මැයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.


එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයි පැවසුවේ, 2014 වසරේදී ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස් කළද එය ක්‍රියාත්මක නොවූ බැවින්, වර්තමාන තාක්ෂණික, ආර්ථික හා රැකියා වෙළඳපොළ වෙනස්කම්වලට ගැලපෙන පරිදි සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බවය.


රජයේ පොදු ආයෝජන වැඩසටහන යටතේ තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145 ක මුදලක් වෙන් කර ඇති අතර, මෙම සම්මන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 5 ක් වෙන් කර ඇති බවද ඇය පෙන්වා දෙයි.


තාක්ෂණික දියුණුව හා ඩිජිටල්කරණය හමුවේ තරුණයින්ට අධ්‍යයන දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බැවින්, ප්‍රායෝගික, තාක්ෂණික සහ වෘත්තීය නිපුණතා ලබාදීම සඳහා විෂය නිර්දේශ නවීකරණය විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසයි.


මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය ලබන වසරේදී ජාත්‍යන්තර සමුළුවක් ලෙස පැවැත්වීමට යෝජනා වී ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකේය පර්යේෂකයන්ට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්බන්ධ වීමට විශාල අවස්ථාවක් හිමිවේ.

 

More News..