brand logo
logo
ශ්‍රී ලංකා වර්ජන දෙපාර්තමේන්තුව !

ශ්‍රී ලංකා වර්ජන දෙපාර්තමේන්තුව !

18 September 2026

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා සේවයෙන් පහකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු දුම්රිය සේවකයන් ඊයේ ක්‍රියාත්මක කළ වර්ජනය එක්තරා ආකාරයකින් අපගේ බලාපොරොත්තු සුන්කර දැම්මේය. අප කල්පනා කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නායකත්වය දුන් කණ්ඩායමට ආණ්ඩු බලය ලැබුණු විට අවම වශයෙන් සාම්ප්‍රදායික දුම්රිය වර්ජනය හෝ නතර වනු ඇතැයි කියාය. එහෙත් අපගේ කල්පනාව සදොස්ය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායික වර්ජන මාවතට යළි යොමු වී තිබේ. වෘත්තීය ක්‍රියාමාර්ග නොගත යුතුයැයි අප සඳහන් කරන්නේ නැත. සාධාරණ සහ යුක්ති සහගත කරුණු මත පදනම්ව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට තිබෙන අයිතිවාසිකමකි. එහෙත් අපට තිබෙන ගැටලුව ලංකාවේ බොහෝ වෘත්තිකයන්, සේවකයන්, කම්කරුවන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම නමැති අයිතිවාසිකම කෙරෙහි පමණක් බෙහෙවින් අවධානය යොමු කිරීමයි. මහජනතාව පිළිබඳ ඔවුන්ට තිබිය යුතු වගකීම පිළිබඳ සැලකිය යුතු අදහසක් හෝ ඒ පිළිබඳ හෘදය සාක්ෂියක් තිබෙන බවක් නම් දැකිය නොහැකිය. සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් එවැනි ආකාරයට මහජනතාව පිළිබඳ වගකීමකින් තොරව කටයුතු කරන්නේ යැයි අප අදහස් කරන්නේ නැත.


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට දුම්රිය ගමන් වාර 300ක් හෝ 390කට ආසන්න ප්‍රමාණයක් සඳහා දුම්රිය යොදවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව දිනපතා ලක්ෂ හතරකට ආසන්න පිරිසක් දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගනිති. ඒ අතරින් වැඩි පිරිසක් කාර්යාල දුම්රියවල ගමන් කරන්නෝය. අනෙක් පිරිස කෙටි දුම්රිය ධාවනය මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නෝය. එමගින් පැහැදිලි වන්නේ ලංකාවේ මහජනතාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර තිබෙන වෙන් නොකළ හැකි සබඳතාවයි. එපමණක් නොව මහජනතාවගේ සාමාන්‍ය ජීවන පැවැත්ම සහ දුම්රිය අතර තිබෙන සබැඳියාවයි. එක් දිනක හෝ දුම්රිය වර්ජනයෙන් මහජනතාව කෙතරම් දුෂ්කරතාවකට පත්වෙනවාද යන්න ද එමගින් අපට තේරුම්ගත හැකිය. එහෙත් එකී අපහාසුතාව පිළිබඳ එදා මෙදා දුම්රිය වර්ජකයන්ට නම් එතරම් හැඟීමක් තිබෙන බවක් අපට නම් නොපෙනේ.


අප එසේ සඳහන් කරන්නේ සහේතුකවය. සමහර අවස්ථාවලදී දුම්රිය වර්ජකයන් වර්ජනය සඳහා පදනම් කරගන්නා හේතු පුදුම සහගත. අපගේ මතකයේ හැටියට වරක් දුම්රිය සේවකයන් පිරිසත් වර්ජනයේ යෙදුණේ හෙල්මට් ප්‍රශ්නයක් මුල් කරගෙනය. එසේම දුම්රිය සේවකයන් අතර උද්ගත වූ ගැටලු මුල් කරගෙනද සමහර අවස්ථාවල වර්ජන ඇතිවිය. සමහර වර්ජනවලට හේතු වූයේ තරාතිරම පිළිබඳ ගැටලු ය. ඔවුනොවුන් අතර ඇතිවන ගැටලු මහජනතාව පිටින් ලැබීම කෙතරම් සාධාරණ දැයි විමසා බැලිය යුතුය. එහෙත් එකී කරුණ කෙරෙහි දුම්රිය සේවකයන් සාධාරණව සහ යුක්ති සහගතව කරුණු සලකා බැලූ හැටියක් අප දන්නා කියන කාලයේ නම් නැත. බොහෝ විට ඔවුන් පහසුවෙන්ම කරන කාරිය නම් මහජනතාවගේ බෙල්ල මුලින් සිරකර ගැනීමය. එය ඔවුන් පමණක් නොව රජයේ වෛද්‍යවරුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගවලදී අනුගමනය කරන මූලධර්මයකි.


මෙවර වර්ජනයට හේතුව දුම්රිය ලොක්කා සේවයෙන් පහකර ගැනීමය. දුම්රියේ බිඳවැටීමට ඔහු හේතුව බව වර්ජකයො සඳහන් කරති. ආණ්ඩුව නම් සඳහන් කරන්නේ කෙතරම් වර්ජනය කළත් තමන් පත් කරනු ලැබූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමට සූදානම් නොමැති බවය. සමහර අය සඳහන් කරන්නේ පසුගිය කාලයේ දුම්රිය සේවකයන්ට සේවය කරන අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම මෙකී වර්ජනයට එක් හේතුවක් බවය. එය කෙතරම් දුරට ඇත්තක්දැයි අප දන්නේ නැත. එහෙත් දුම්රියේ පමණක් නොව බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාජකාරියට වඩා සමාජ මාධ්‍යවල රස්තියාදු වීම නම් ඉහළ කොට සලකන බව රහසක් නොවේ. ඒ කෙසේ වෙතත් දුම්රිය දුවන්නේ පාඩුපිටය. දුම්රිය ධාවනය හේතුවෙන් දිනපතා මිලියන අනූවකට ආසන්න පාඩුවක් සිදුවන බව සංඛ්‍යා ලේඛනවල දැක්වේ. එසේම දුම්රිය වර්ජනය හේතුවෙන් දිනකට කෝටි දහයකට වැඩි පාඩුවක් විදියට දරා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවක සිදුවේ. ඒ පාඩුව දරන්නේ මහජනතාව බව අප අමතක කළ යුතු නැත. පාඩු පිට දුවන දුම්රියේද බර දැරිය යුත්තේ මහජනතාවය. පඩි නඩි ගෙවීම, නඩත්තු කටයුතු සහ නඩු හබ ආදියට වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවේ.


දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකිය. පාඩු අකාමකා දැමිය හැකිය. ඒ සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීම, යාවත්කාලීන කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසකි. එහෙත් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන අවස්ථාවලදීද වර්ජන ගර්ජන ක්‍රියාත්මක වෙයි. බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් දුම්රිය සේවය ලාභ ලබමින් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට ඉන්දියාව සමත් වුවද තවම අපට එකී අභියෝගය ජය ගැනීමට නොහැකි වී ඇත. අවම වශයෙන් පසුගිය දිට්වා කුණාටුවට ගහගෙන ගිය උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අපට තවම හැකිවී නැත. උඩරට දුම්රිය මාර්ගය යනු දුම්රිය දෙපාර්තමේන්තුව බෙහෙවින් ලාභ ලැබූ ධාවනයකි. එමගින් අප වැටී තිබෙන තත්ත්වය කෙබඳු එකක්දැයි තේරුම්ගත හැකිය. එනිසා ආණ්ඩුව සහ දුම්රිය සේවකයන් එකිනෙකාට චෝදනා කරමින් කඹ ඇදිල්ලක නිරත වෙනවා වෙනුවට නොපමාව එකට වාඩිවී කතාකර උද්ගත වී තිබෙන ගැටලු විසඳා ගැනීමට යොමු විය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජන දෙපාර්තමේන්තුවක් වී වළපල්ලට යනු ඇත.

 

More News..