brand logo
logo
වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා බංග්ලාදේශ ඇඟලුම් සේවකයෝ විරෝධතාවල

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා බංග්ලාදේශ ඇඟලුම් සේවකයෝ විරෝධතාවල

01 November 2026

බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වැටුප් මණ්ඩලයක් පත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.


කෙසේ වෙතත්, රජය මෙම තීරණය ප්‍රකාශයට පත් කළ ද වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇඟලුම් සේවකයන් ආරම්භ කර ඇති විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් එරට ප්‍රධාන කාර්මික කලාපවල ප්‍රවාහන කටයුතු සහ කර්මාන්තශාලා මෙහෙයුම් අඩාල වී ඇත.


බංග්ලාදේශ ඇඟලුම් සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ දැනට පවතින මාසික අවම වැටුප වන බංග්ලාදේශ ටකා 12,500ක මුදල ටකා 30,000ක් දක්වා ඉහළ නංවන ලෙසය.


එය ඇමෙරිකානු ඩොලර් 245කට ආසන්න මුදලකි.

මේ අතර, කම්කරු හා රැකියා අමාත්‍ය අරිෆුල් හක් චෞද්රි පවසා ඇත්තේ සේවක නියෝජිතයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව වැටුප් මණ්ඩලය පිහිටුවීමට පියවර ගත් බවය.

එමෙන්ම විරෝධතා අත්හැර සේවයට නැවත වාර්තා කරන ලෙස ද ඔහු සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත්, එම ඉල්ලීම නොතකා අද (01) දිනයේදී ද සේවකයන් දහස් ගණනක් විරෝධතාවල නිරත වී ඇත.

ඩකා අගනුවර කාර්යබහුල මංසන්ධියක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ සේවකයන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී ඇති වූ ගැටුම් අතරතුර ඇතැම් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් වෙත ගඩොල්වලින් පහර දී ඇති බව ද පොලිසිය සඳහන් කර සිටී.

එමෙන්ම ඩකා අගනුවරට ආසන්න ගාසිපූර් ප්‍රදේශයේ ප්‍රධාන මහාමාර්ගයක් ද සේවකයන් අවහිර කර තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු ද අඩාල වී තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් ගාසිපූර් ප්‍රදේශයේ කර්මාන්තශාලා 25ත් 30ත් අතර සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇති බව එරට ගාසිපූර් කාර්මික පොලිසියේ අධිකාරී මොහොමඩ් අම්ජාඩ් හොසේන් ප්‍රකාශ කර ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද එම ප්‍රදේශවලට යොදවා තිබේ.

මෙම තත්ත්වය මීට පෙර ද ඩකා අගනුවරට ආසන්න ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන අෂුලියා ප්‍රදේශයෙන් වාර්තා විය.

එහිදී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සේවකයන් පැවැත්වූ විරෝධතා හේතුවෙන් කර්මාන්තශාලා රැසක් සිය මෙහෙයුම් අත්හිටුවා තිබිණි.

මේ අතර, විරෝධතා හේතුවෙන් කර්මාන්තශාලා මෙහෙයුම් දිගින් දිගටම අඩාල වුවහොත් ඇඟලුම් අපනයන ඇණවුම් ප්‍රමාද විය හැකි බවට කම්කරු හා රැකියා අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගෙන් ලැබිය යුතු ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් නිෂ්පාදකයන්ට මෙන්ම සේවකයන්ට ද තවදුරටත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.

බංග්ලාදේශයේ ආර්ථිකයේ ප්‍රධානතම ශක්තියක් වන ඇඟලුම් කර්මාන්තය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට පමණ දායකත්වය සපයයි.

එරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ද මෙම කර්මාන්තයෙන් උපයා ගන්නා අතර, සේවකයන් මිලියන හතරක් පමණ එහි රැකියාවල නිරත වෙති.

චීනයට පසුව ලොව විශාලතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය හිමි රට වන්නේ ද බංග්ලාදේශයයි.

කෙසේ වෙතත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, වරින් වර ඇතිවන ගෑස් හා විදුලි සැපයුම් හිඟය මෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ආතතීන් හේතුවෙන් බලශක්ති වෙළෙඳපොළ තුළ ඇති වී තිබෙන අවිනිශ්චිතතාව ද එරට ඇඟලුම් කර්මාන්තයට බලපාන ප්‍රධාන අභියෝග බව නිෂ්පාදකයන් සඳහන් කර සිටී.

 

 

More News..