Best News Website award
brand logo
logo
ඇමරිකන් අතරමැදි ඡන්දයෙන් පාඩමක්

ඇමරිකන් අතරමැදි ඡන්දයෙන් පාඩමක්

11 November 2026


මීට මාසයකට පමණ කලියෙන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මට ඕනෑ නම්, මට ඕනෑ දෙයක් කරන්නට පුළුවන්" යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ඒ තනතුර හොබවන්නාට ඔහුගේ පාලන කාලය තුළ කරන්නට බැරි දෙයක් නැති තරමේ බලයක් ඇතැයි යන්න ඇත්තකි. එහෙත් ඔහු නායකත්වය දරන රිපබ්ලිකන් පක්ෂයට නොවැම්බර් 3 වැනිදා පැවති වාර අතරමැදි (Mid Term) ඡන්දය නැතක් උත්සාහ දරාත් දිනාගැනීමට නොහැකි විය.


ජනමාධ්‍ය විසින් උස් කොට පෙන්වනු ලැබූවද එය පෙර නොවූ විරු දෙයක් නම් නොවේ.


ඉතා ජනප්‍රිය ජනාධිපතිවරයකු හැටියට සැලකෙන බරක් ඔබාමාද වාර අතරමැදි ඡන්දයකින් මීටත් වඩා දරුණු පරාජයක් ලැබුවේය. එහෙත් මෙතෙක් තමන්ට බලය හිමිව තිබූ සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බලය අහිමිවීම මහා බලසම්පන්නයකු ලෙස පෙනී සිටින ට්‍රම්ප්ට වැදුණු තදබල පහරකි.


මෙහිදී රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ගණනාවක්ම ඔවුන්ට අහිමිව ගියේය. කැන්සාස් ප්‍රාන්තයේදී අවුරුදු සියයකින් මෙපිට සෙනෙට් සභාවේ ආසනයක් දිනාගැනීමට නොහැකිව සිටි ඩිමොක්‍රැටික් පක්ෂය මේ වතාවේ ඒ හපන්කමද කළේය. වාර අතරමැදි ඡන්දයේ එබඳු සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇතත් අද අප ලියන්නේ වෙනස් කතන්දරයකි.


අවුරුදු හතරක් වන ජනාධිපති ධුර කාලය හරි මැදදී එනම් දැවුරුද්දක් ගිය තැන බලව්‍යුහයේ වෙනසක් කෙරෙන මෙබඳු මැතිවරණයක් ශ්‍රී ලංකාවේ අපට නුපුරුදුය. මෙහිදී ජනාධිපතිවරයාගේ පක්ෂය ජයග්‍රහණය කළහොත් එය ඉකුත් අවුරුදු දෙකේදී ඔවුන් රටකරවූ ආකාරය අනුමත කිරීමක් වෙද්දී පරාජය ඔවුන්ට කෙරෙන අනතුරු හැඟවීමක් වෙයි. කෙසේවුවද මෙහිදී පරාජය වීමෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුවීමක් නම් සිද්ධ වන්නේ නැත.


අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණයේ පළමුවැනි වටයේදී බහුතර ඡන්දයක් නොලැබුවද දෙවැනි වටයේදී 50%කට වැඩි ඡන්දයක් ලබා ජනාධිපති පදවියට පත්විය. එහෙත් ඊට දෙමාසයකට පසු පැවැත්වුණු මහා මැතිවරණයේදී ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159 ක් දිනා ගත්තේය. ඊට පසු පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී එහි ඡන්ද ප්‍රතිශතය ජනාධිපතිවරණයේදී ලැබූ ඉලක්කම දක්වා පහත වැටුණේය.


දැන් ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක් ගතවී ඇතත් එහි වැඩපිළිවෙළට ජනතාවගේ අනුමතිය තිබේද නැද්ද යන්න මැනගැනීමට අපට ක්‍රමවේදයක් නැත. ජාතික ජන බලවේගයේ අදහසේ හැටියට ආණ්ඩුව ඉතා ජනප්‍රිය වන අතර විපක්ෂය දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසකි. මෙහිදී ආණ්ඩුවට තමන් පරිහානියට ගොස් ඇති නැති බව දැනගැනීමට ක්‍රමයක් නොමැති අතර අනෙක් පැත්තෙන් විරුද්ධ මතධාරීන්ට සිය විරෝධය ප්‍රකාශ කරන්නටද මගක් නැත.


පළාත් සභා මැතිවරණය මේ කාලයේදී පැවැත්වීමට හැකිවූයේ නම් එය නිසැකවම ආණ්ඩුව පිළිබඳ ජනමත විචාරණයක් වනු ඇත. එහෙත් 2014 න් පසු අපේ රටේ පළාත් සභා මැතිවරණයක් පවත්වා නැති අතර එහෙයින් 2018 න් පසු එහි කටයුතු කෙරෙන්නේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයකින් තොරවය. එසේ වුවද අවශ්‍ය නම් අපේ රටටද ඇමරිකා එක්සත් ජනපදයේ වාර අතරමැදි මැතිවරණයේ කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය යොදාගැනීමට පුළුවන.


එහෙත් අපේ රටේ මෙවැනි අදහස් ක්‍රියාත්මක කරන්නට නොහැකිය. ඒ මෙහි ඡන්ද පැවැත්වීමේ කාලසටහනක් ඇතිකිරීමට කිසිදු පක්ෂයක් එකඟවීමට ඇති ඉඩකඩ සීමිත නිසාය. මෙහි ඡන්ද පැවැත්වෙන්නේ ආණ්ඩු කරන පක්ෂය තමන්ට ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සිතන අවස්ථාවේදී බැවිනි.


මීට ටික කලකට පෙර චීනයේ සංචාරයක යෙදී පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තමන්ට එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ නායකයා කී දෙයක් කියා සිටියේය. ඒ රටක් දියුණු කිරීමට නම් එක කණ්ඩායමක් අවුරුදු පහළොවක් හෝ විස්සක් හෝ බලයේ සිටිය යුතු බවය. එහෙත් අවුරුදු හතරකට වතාවක් ජනාධිපතිවරණයක්ද අවුරුදු දෙකකට වතාවක් වාර අතරමැදි ඡන්දයක්ද පවත්වන ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලවතෙකි.


මේ ආණ්ඩුවේ නායකයන් නිතර දෙවේලේ කියන්නේ අවුරුදු දෙකකින් රටේ වෙනසක් කිරීමට බැරි බවය. එවැනි පිරිසකගෙන් වාර අතරමැදි මැතිවරණ බලාපොරොත්තු වීමට නුපුළුවන. එහෙයින් ඇමරිකා එක්සත් ජනපදයේ වාර අතරමැදි මැතිවරණද ඔවුන්ට අදාළ වන්නේද නැත.

 

More News..