Best News Website award
brand logo
logo
මා අසුනෙන් නැගිට්ටේ ඇගේ දිරියට ගරු කරන්නයි

මා අසුනෙන් නැගිට්ටේ ඇගේ දිරියට ගරු කරන්නයි

21 November 2026 | වරුණ අබේසේකර

රුහුණු සරසවියේ 33 වැනි උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූයේ ඉකුත් 18, හා 19 දිනවලය. සුපුල් කුසුම් ලෙස සරසවියගෙ දූපුතුන් ගරු ගාම්භීර ලෙස සැරසී සිටියේ තෙවසරක, සිව්වසරක සිප්සතර හරඹෙහි අවසන් පලය දෑතට ගන්නටය.


සරසවි සිරිත පරිදි එපල ගත යුත්තේ සරසවිය නමැති පවුලෙහි ප්‍රධානයා වන කුලපති සුරතිනි. නෙක මානව මානවිකාවන් උපාධි සහතිකය ගැනීමට විද්වත් මණ්ඩපයට පැමිණෙන අතර අත්පොළසන් නදින් එකම ගිගුමකි. මේ අතර අපහසුවෙන්, එහෙත් දිරියෙන් මානවිකාවක් විද්වත් සබයට එන්නී, සියල් නෙත් ඈ වෙතය. ඒ ගතින් දුබල සිතින් හදින් නොදුබල එකියක හෙයිනි.


ඈ සිය සමීපයට එළඹුණු සැණින් කුලපතිවර අග්ගමහා පණ්ඩිත ආචාර්ය අකුරැටියෙ නන්ද නාහිමියො කුලපති අසුනින් නැගිට්ටෝය. නැගිට දිරිය දියණියට උපාධි සහතිකය ප්‍රදානය කළහ. උන්වහන්සේ හුනස්නෙන් නැගිට ඈට උපාධිය ප්‍රදානය කිරීම ඉතිහාසයට එක් වූවේය. ඒ භික්ෂුවක් ගිහියකු දැක නොනැගිටන නිසාය. ජයවර්ධනපුර සරසරවියේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි ඇතුළු භික්ෂූන් දෙතුන් නමක් ජාතික ගීයට නැගිට ආචාරය පුද කළ ද වෙන කිසිදු භික්ෂුවක් උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂුවකට නැගිට ආචාර කරනවා මිසක් කිසිදු අවස්ථාවක හුනස්නෙන් නැගිට්ටේ නැත.

‘‘ඇත්තෙන්ම මා අසුනින් නැගිට්ටෙ ඇගේ දිරියට කැපකිරීමට ගෞරව කරන්නයි. ඇයට උදව්වට දෙදෙනෙකු හිටියා. නමුත් මම තනියමයි උපාධිය ගන්න යන්නේ, ඔයාලා එන්න එපා යැයි ඇය ඔවුන්ට කියලා. ඇයට ලියන්න අපහසුයි. ඇයගෙ හඬත් පැහැදිලි නැහැ. එය වැටහෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා රුහුණු සරසවිය ඇයගෙ වාචික පිළිතුරු වෙනත් කෙනෙකු ලවා ප්‍රශ්න පත්‍රවල ලියන්න අවසර දුන්නා. එහෙමයි ඇය උපාධිය ලිව්වෙ. ඒ අතින් සරසවිය මනුෂ්‍යත්වය පිළිබඳ දුන් ආදර්ශය ඉතා ඉහළ යි. සරසවිය ම පවුලක් හැටියට ඇයට උදව් කළා. කරුණාව දැක්වූවා’’

රුහුණේ කුලපති හාමුදුරුවෝ අපට වදාළ සේක. උන්වහන්සෙ දුන් ආදර්ශය සබෙහි සිටි අනිත් උදවියත් ගත්තෝ නම් අගනේය.

එහෙත් පලබරව නැමෙන කෙත්හු දුලබම වෙති. පිරුණු කළේ දිය නො සැලෙන්නේ යැයි අසා තිබුණද එවැනි පිරුණු කළයක් දුටුවේ රුහුණේ උපාධි උත්සවයේදී ය.

නන්ද නාහිමි විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති මතු නොව හිටපු විදුදය පිරිවෙන්පතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත අකුරැටියේ අමරවංස නාහිමිපාණන් වැනි මහ පඬිවරයකුගේ ශිෂ්‍ය පුත්‍රයෙක් ද වෙයි. මාලි­ගා­කන්දේ විද්‍යෝ­දය පිරි­වෙනේ අධ්‍යක්ෂ, ගාල්ල විද්‍යා­ලෝක පිරි­වෙන් මහා විහා­රා­ධි­පති, මහා­වංස සම්පා­දක මණ්ඩ­ලයේ සභා­පති, ලෝක බෞද්ධ සංඝ සම්මේ­ල නයේ උප­ස­භා­පතිය. එසේම මිය­න්මාර් එක්සත් ජන­ර­ජයෙහි අග්ග­මහා පණ්ඩිත උපා­ධියෙන්ද උන්වහන්සේ සම්මානිත වෙති. උන්වහන්සේගේ ගම ගාල්ලේ බද්දේගම අකුරටියය. කොහොමත් බද්දේගම වියත් පුරයක් ලෙස ප්‍රකටය. වැලිවිටියේ සෝරත, බද්දේගම පියරතන, ගනේගම සරණංකර ආදී මහ යතිවරු බිහි වූයේ ඒ ගමෙනි.

කුඩා අව­ධි­යේ­දීම සසු­නට එක් වූ උන්ව­හන්සේ සිය ආචාර්ය පර­ම්ප­රාවේ අති­ශය ගෞර­ව­යට හා කීර්ති­යට පත් ගාල්ල විද්‍යා­ලෝක පිරි­වෙ­නින් මූලික හා ද්විතීක අධ්‍යා­ප­නය ලබා කැලණි විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව එහි ශිෂ්‍ය ප්‍රජාව අතර ද නොමැ­කෙන චරි­ත­යක් බවට පත්වූහ. බද්දේගම සමිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත වැනි මහ යතිවරු උන්වහන්සේගේ සරසවි සමකාලිනයෝ වූහ. එව­කට විශ්ව­වි­ද්‍යා­ලයේ කාගේත් සම්භා­ව­නා­වට පත් “චින්තක” සඟ­රාවේ සංස්කා­ර­ක­ව­ර­යකු බවට පත්වීමේ භාග්‍ය උන්ව­හ­න්සේට හිමි වූයේ ශාස්ත්‍රීය කට­යුතු කෙරෙහි දැඩි කැප­වී­ම­කින් ක්‍රියා කළ නිසාය.

විද්‍යා­ලං­කාර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ගෞරව ශාස්ත්‍ර‍ෙව්දී උපා­ධිය ගත් නන්ද හිමි­පාණෝ අන­තුරුව ශාස්ත්‍ර­පති හා දර්ශ­න­පති උපා­ධිය ද හිමි­කර ගත්හ. තායිලන්ත චූලංකාර විශ්ව­වි­ද්‍යා­ලයෙන් ආචාර්ය උපා­ධිය හිමි­ක­ර­ගත් උන්ව­හන්සේ තම අධ්‍යා­පන සේවය අර­ඹන්නේ කොළඹ මාලි­ගා­කන්ද විද්‍යෝ­දය පිරි­වෙනේ ආචාර්ය ධුර­යක් දර­මිනි. අන­තු­රුව බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යෝ­දය ආය­ත­නයේ ආය­ත­නා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් ද උන්ව­හන්සේ පත් වූහ. සිංහල ශබ්ද­කෝ­ෂයේ සහ­කාර කර්තෘ­ව­ර­යකු වශ­යෙන් ස්ථිර රාජ්‍ය සේව­යට බැඳී අනු­ක්‍ර­ම­යෙන් එහි ප්‍රධාන කර්තෘ ධුරය දක්වා ඉහ­ළම තන­තු­රට පත්වී­මට තරම් උන්ව­හන්සේට හැකි වූයේ ඉමහත් පරි­ණත­භා­වය නිසා ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලයේ මහෝ­පා­ධ්‍යා­ය­ව­රයා වශ­යෙන් පත් වූ උන්වහන්සේ දේශීය මෙන්ම විදේ­ශීය රට­වල ද විශ්ව­වි­ද්‍යා­ලයේ ශාඛා ඇති කර­මින් ජාත්‍යන්තර ව්‍යාප්ති­යට මෙන්ම පිළි­ගැ­නී­මට ද පත් කළහ.

උන්වහන්සේ එංගලන්තයේ මැන්චෙස්ටර් වැනි සරසවිවල ද උගත් හ. මෙසේ ප්‍රාචීන ප්‍රතිචීන ශික්ෂණය මොනවට ලද උන් වහන්සේ පැසුණු වී කරල් ලෙද නැමීම කවර නම් අරුමයෙක් ද?


 

More News..