brand logo
logo
ජාතික බීච් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවීම ඇරැඹේ

ජාතික බීච් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවීම ඇරැඹේ

13 August 2026


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ වත්තල ප්‍රාදේශීය සභාවේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ වත්තල සරක්කු වෙරළ තීරයේදී සැප්තැම්බර් 19 වැනිදා සිට පැවැත්වීමට නියමිත ජාතික බීච් වොලිබෝල් තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එයට අදාළ අයැදුම්පත් සැප්තැම්බර් 10 වැනිදාට පෙර යොමු කළ යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දැනුම් දෙයි.


තරගාවලිය වයස අවුරුදු 23න් පහළ සහ විවෘත යන කාණ්ඩ දෙක යටතේ පිරිමි සහ කාන්තා තරග පැවැත්වීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක මෙන්ම සංස්ථා, ත්‍රිවිද හමුදා, පොලිසිය සහ පාසල් නියෝජනය කරමින් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමේ හැකියාව පවතියි. වයස අවුරුදු 23න් පහළ කාණ්ඩය යටතේ තරග වැදීමට අපේක්ෂා කරන ක්‍රීඩකයන් අනිවාර්යයෙන් 2026 දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 23ට අඩුවිය යුතුව ඇත. (එනම් 2004 ජනවාරි පළමුවැනිදායින් පසුව උපන් අය) එසේම තරගාවලිය සඳහා සැප්තැම්බර් 10 වැනිදා වන විට ලැබෙන අයැදුම්පත් පමණක් තරග කාල සටහන සඳහා එක් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ.


එක් කණ්ඩායමකට ක්‍රීඩක/ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් ඇතුළත් විය යුතු අතර අයැදුම් කිරීමේදී අතිරේක ක්‍රීඩකයෙක් නම් කළ හැකි වුවද, ඉන් ක්‍රීඩක‍යන් දෙදෙනෙක් පමණක් කණ්ඩායමට නම් කළ යුතුවේ. යම් හෙයකින් එම දෙදෙනාගෙන් එක් අයකු ආබාධයකට ලක්වුවහොත් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. තරග ආරම්භක දිනය වන 19 වැනිදා උදෑසන 7.30 සිට 9.30 දක්වා කණ්ඩායම් ලියාපදිංචිය සිදුකෙරේ.


තරගාවලිය සඳහා නිවැරැදිව සකස් කළ අයැදුම්පත් තරග කමිටු ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට හෝ srilankavolleyball@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදාට ප්‍රථම යොමු කළ යුතුය.

 

More News..