brand logo
logo
ජස්වර්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න!

ජස්වර්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න!

15 May 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්ට එරෙහිව දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට මෙන්ම ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් අදාළ විමර්ශන බලධාරීන් වෙත පැමිණිලි කරන මෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ කර තිබේ.


ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා තරග කිරීමට, ජස්වර් උමාර් ඉදිරිපත් වූ අවස්ථාවේ එයට විරෝධය දක්වමින් ඔහු මෙම අපේක්ෂකත්වය සඳහා නුසුදුස්සකු බවට පත්කරන ලෙස ඉල්ලමින් ඩානීස් අලී නැමැත්තකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය සැලකීමට ගැනීමෙන් පසුව, එකී අභියාචනය අනුමත කරමින් මෙම නිර්දේශ ඉදිරිපත්ව ඇත.


මෙවැනි චෝදනාලාභී පුද්ගලයන් ඔලිම්පික් නිලවරණ සඳහා ඉදිරිපත්වීම වැළක්වෙන ලෙසින් ක්‍රීඩා පනතේ 21 වැනි වගන්තිය සංශෝධනය කරන ලෙසද අභියාචනා කමිටුව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදාළ නිර්දේශ අතර වේ.


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දූෂණ හෝ අක්‍රමිකතා විමර්ශනය සම්බන්ධයෙන් 2023 වසරේදී එවක ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරිපත්කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව, එම වසරේදීම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත්කරන ලද එහි අභ්‍යන්තර විගණක එස්.එස්. බස්නායකගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විමර්ශන කමිටු වාර්තාව ආදියෙන් ජස්වර් උමාර් යටතේ පාපන්දු ක්ෂේත්‍රයේ දුෂණ රැසක් සිදුව ඇති බවට නිගමනය කෙරිණි.


මේවා යටතේ ඩොලර් මිලියන 3.4ක මුල්‍ය අක්‍රමිකතාවක්, මාස හයක කාලයක් තුළ පාපන්දු සම්මේලනයට අදාළ ඩොලර් මිලියන 1.4කට අධික මුදලක් රුපියල් බවට පත්කිරීම ආදිය සම්න්ධයෙන් චෝදනා එල්ලව තිබූ අතර ජස්වර් උමාර්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් පරීක්ෂණ පැවැත්විය යුතු බවක්ද ඒවායේ නිර්දේශ අතර විය.


තවද ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ ලේකම් ධුරය දරන සමයේ විගණකාධිපතිවරයා වෙත යොමුකරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණයක් අවසානයේ (2021 වසරේදී) නිකුත් කළ වාර්තාවක් මගින්, ජස්වර් කිසිදු ක්‍රීඩා සම්මේලනයක නිලතලයක් දැරීමට සුදුසු නොවන බවට නිර්දේශ කර තිබිණි.


නමුත් මේ සියල්ල නිර්දේශවලට පමණක් සීමා වෙමින් ඒවා සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාත්මකවීමක් සිදු නොවුණු අතර ඒ අවසරයෙන් පාපන්දු පරිපාලනයේ අවහිරයකින් තොරව රැඳී සිටි ජස්වර් උමාර් ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති ධුරය සඳහාද අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් විය. එහිදී ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විරෝධතා ගොනුවුවද ඔලිම්පික් කමිටු නිලවරණ කමිටුව ඒවා ඉවත දැමීය. මේ අතර මොහු එම අපේක්ෂකත්වයට නුසුදුසු බව පවසමින් පාදක අභියාචනය ඉදිරිපත්ව තිබූ අතර ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමෙන් පසුව එහි නිර්දේශ නිකුත් වුවද මෙය ජස්වර්ගේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස තීරණාත්මක වනු ඇත.

 

More News..