අපේක්ෂා රෝහලේ සේවා ශක්තිමත් කිරීමට විශේෂ සමාලෝචන රැස්වීමක්
10 October 2026
අපේක්ෂා රෝහලේ සේවා ශක්තිමත් කිරීමට විශේෂ සමාලෝචන රැස්වීමක්
10 October 2026
මහරගම අපේක්ෂා රෝහලේ වත්මන් මෙහෙයුම් කටයුතු, රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙනි.
රජයේ රෝහල්වල පාලන කටයුතු විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගී සත්කාර සේවා සංවර්ධනය කිරීම සඳහා රෝහල් මට්ටමින් මෙම රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීම් පවත්වා ඇත.
මහරගම අපේක්ෂා රෝහලේ පැවැති මෙම කළමනාකරණ සමාලෝචන රැස්වීමෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ, රෝහල වෙත පැමිණෙන රෝගීන් හට විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩ ප්‍රතිකාර සේවාවක් සහතික කිරීමයි.
මෙහිදී රෝහලේ ප්‍රගතිය මෙන්ම කඩිනමින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
රෝහලේ යටිතල පහසුකම් සහ නව ප්‍රධාන සැලසුම (Master Plan) පිළිබඳව අවධානය යොමු කරමින්, රෝහල් පරිශ්‍රයේ ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සහාය ඇතිව රෝහලේ නව ප්‍රධාන සැලසුම ඉදිරි දීර්ඝ කාලයකට ගැලපෙන පරිදි සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව රෝහලේ ඉදිවන නව ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු සායනික ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
විකිරණ ප්‍රතිකාර අංශය මගින් සිදු කරන ප්‍රතිකාර තවත් පුළුල් කරමින් පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීම සහ ආසියානු සංවර්ධන බැංකු (ADB) ව්‍යාපෘතිය යටතේ ලැබෙන නව LINAC යන්ත්‍ර සඳහා වන බංකර් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
සායන සහ වාට්ටු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයකින් තොරව වෛද්‍ය සැපයුම් අංශය (MSD) හරහා අඛණ්ඩව ලබාගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. වෛද්‍ය සැපයුම් අංශය සමග මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම, හදිසි මිලදී ගැනීම් සිදු කිරීම මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද මෙහිදී කටයුතු කෙරිණි.
එමෙන්ම රෝහලේ සේවා උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළින් ක්‍රමානුකූලව කාර්ය මණ්ඩල ලබා දීමට පියවර ගන්නා බව ද සඳහන් විය. මෙම සති අන්තයේ සෞඛ්‍ය කාර්ය සහායක නව පත්වීම් ප්‍රදානයක් සිදු කරන බැවින්, ඉන් යම් ප්‍රමාණයක් රෝහලට ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම කළමනාකරණ සමාලෝචන රැස්වීමේදී වායු සමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ, අන්තර්ජාල සේවා ශක්තිමත් කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.
අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කරමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

