'බෝම්බුවල සුද්දා' අත්අඩංගුවට
03 September 2026
'බෝම්බුවල සුද්දා' අත්අඩංගුවට
03 September 2026
පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීමේ නිරත වූ බවට සැක කෙරෙන "බෝම්බුවල සුද්දා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ පොලිස් වසමට අයත් නාගොඩ මංසන්ධියේ වෙළඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි. එහිදී ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
අනතුරුව කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අදාළ යතුරුපැදිය ධාවනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් අදාළ යතුරුපැදියේ ලියාපදිංචි අංකය වෙනස් වන පරිදි අංක තහඩුව මත ස්ටිකර් අලවා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ඉංගිරිය, කිරිඇල්ල සහ රත්නපුර යන පොලිස් වසම්වල සිදුවූ යතුරුපැදි සොරකම් රැසකටද සම්බන්ධ අයෙකු බවයි. මෙලෙස සොරකම් කරනු ලබන යතුරුපැදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි වෙත විවිධ අපරාධ සඳහා ලබාදී ඇති බවට පොලීසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

