brand logo
logo
 CNN ඇතුළු මාධ්‍ය ආයතන 3කට ධවල මන්දිරයට ඇතුළුවීමේ තහනමක්

CNN ඇතුළු මාධ්‍ය ආයතන 3කට ධවල මන්දිරයට ඇතුළුවීමේ තහනමක්

19 September 2026


ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන ආයතනවලට ධවල මන්දිරයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.


තම පාලන සමය පිළිබඳව අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා තම 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මෙම තීරණය නිවේදනය කළේය.


කෙසේ වෙතත් එම චෝදනාවලට අදාළව කිසිදු නිශ්චිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු පියවර ගෙන නොමැත.


එමෙන්ම මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙන්ම එම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වළක්වන්නේද යන්න පිළිබඳවද මෙතෙක් පැහැදිලි තොරතුරක් වාර්තා වී නොමැත.


මෙම පියවර ඇමෙරිකානු මාධ්‍ය සංවිධාන මෙන්ම නීති විශාරදයන්ගේද දැඩි විවේචනයට ලක්වීමට ඉඩ ඇති අතර, ඉදිරියේදී ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.


ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණය හෙළා දකිමින් CNN නාලිකාව නිවේදනය කළේ, මෙය අමෙරිකානු මාධ්‍ය නිදහසට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරයක් බවය.


තමන් සැමවිටම ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔවුන්ගේ සාධාරණ සහ නිවැරදි වාර්තාකරණය සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම නාලිකාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

More News..