brand logo
logo
ම්බාපේගේ විහිළුවෙන් ඇවිළුණු චීන ගිනි පුපුර

ම්බාපේගේ විහිළුවෙන් ඇවිළුණු චීන ගිනි පුපුර

31 October 2026 | නදුන්ක නෙත්සර

නූතන පාපන්දු ක්‍රීඩාව යනු හුදෙක් පිටිය ඇතුළට පමණක් සීමා වූ ක්‍රීඩාවක් නොවේ. එය බිලියන ගණනක ප්‍රේක්ෂකාගාරයක්, සංස්කෘතික බැඳීම් සහ අතිශය සංවේදී වෙළෙඳ​ෙපාළ ජාලයක් සමග බැඳුණු ගෝලීය ජාලයකි. මේ දිනවල රියල් මැඩ්රිඩ්හි ප්‍රංශ ජාතික සුපිරි තරු,කිලියන් ම්බාපේට මුහුණ දීමට සිදුව තිබෙන චීන අර්බුදය මගින් තහවුරු වන්නේ, ගෝලීය තාරකාවකට සිය පෞද්ගලික අභිමතය අනුව හැසිරීමට ඇති සීමා, බාධක කෙතරම් ප්‍රබලද යන්නයි. වචනයක් හෝ හැසිරීමක් පාලනය කරගැනීමට නොහැකි වූ විට එහි ප්‍රතිවිපාක කෙතරම් බරපතළ විය හැකිද යන්නයි.


ඉකුත්දා බැලෝන් ඩෝ'ර් සම්මාන උළෙල ලන්ඩනයේදී නිමාව දුටුවේය. හැරී කේන් ජයග්‍රාහකයා වද්දී, ම්බාපේට දෙවැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. අවසන් වසර 9ක් පුරා බැලෝන් ඩෝ'ර් ජයග්‍රාහී ලැයිස්තුවේ පළමු දසදෙනා අතර රැඳී සිටි ම්බාපේට සුපුරුදු පරිදි මෙවරත් අකමැත්තෙන් වුව තවත් වසරක් බලා සිටීමට සිදු විය. ම්බාපේට බැලෝන් ඩෝ'ර් අහිමි වීමෙන් හිත හදා ගන්නට අවස්ථාවක් නොවීය. කොරේ පිටට මරේ කියා චීනය ඇවිළුණේය. එම ගින්නට ඉන්ධනය වූයේ ම්බාපේය.


මාඕ සේතුංට සිදු වූ අපහාසය


මෙම සිදුවීම‍ට මුල් වූයේ The Bridge නම් ප්‍රංශයේ ජනප්‍රිය අන්තර්ජාල වැඩසටහනකට එක්වෙමින් ම්බාපේ කළ ප්‍රකාශයකි. තමන් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සංසරණය වූ ප්‍රියතම විහිළු ඡායාරූපය (meme) කුමක්දැයි කළ විමසීමට පිළිතුරු දෙමින්, ඔහුගේ මුහුණ මාඕ සේතුංගේ සිරුරට බද්ධ කර තිබූ රූපය නම් කළේය. අනතුරුව "මම හිතන්නේ ඔහු චීන ඒකාධිපතියෙක්" යනුවෙන් ප්‍රකාශ කළ අතර ඒ සමගින් මෙම අර්බුදය ආරම්භ විය.


ම්බාපේ සතු තරු ගුණය හේතුවෙන් රසිකයන් අන්තර්ජාල තුළ ඔහුව 'ඒකාධිපතියකු' ලෙස හැඳින්වීම සාමාන්‍ය දෙයක් වුව ද, චීන ඉතිහාසයේ ඉතා සංවේදී සහ ගෞරවනීය චරිතයක් වන, චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං පිළිබඳ කළ ප්‍රකාශය සුළුවෙන් තැකීමට චීනය සූදානම් නොවිය. එය චීන ජනතාවගේ හැඟීම්වලට එල්ල වූ බරපතළ පහරක් ලෙස සැලකීම සමගම මෙය චීන සමාජ මාධ්‍ය තුළ දැඩි කැලඹීමක් ඇති කිරීමට සමත් විය.

ම්බාපේ එල්ලුම් ගස් යැවීම

මෙම ප්‍රකාශයත් සමග චීන සමාජ මාධ්‍ය වේදිකා හරහා ම්බාපේට එරෙහිව දැවැන්ත විරෝධතා සහ වර්ජන රැල්ලක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ දැවැන්ත කිරි නිෂ්පාදන සන්නාමයන් වන Mengniu, පානීය නිෂ්පාදන සන්නාමයක් වන Dongpeng සහ චීස් නිෂ්පාදකයකු වන Milkground වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් වහාම ක්‍රියාත්මක වී එම්බාපේ සමග පැවති සියලු ගිවිසුම් සහ අනුග්‍රාහකත්වයන් අවලංගු කිරීමට පියවර ගත්තේය. ඔවුහු චීන නගරවල ප්‍රදර්ශනය කර තිබූ ම්බාපේ රුව ඇතුළත් වෙළෙඳ දැන්වීම් පවා ඉවත් කිරීමට කටයුතු කළහ.

චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන Xiaohongshu හි ම්බාපේගේ ගිණුම (මිලියනයකට අධික අනුගාමිකයන් සිටි) තාවකාලිකව අත්හිටුවා ඇති අතර Weibo යෙදුම තුළ ද එවැනිම පියවරක් ගෙන තිබිණි. එහි දැක්වා ඇත්තේ "නීති උල්ලංඝනය කිරීමක් හෝ Weibo ප්‍රජා සම්මුතියට (Community Convention) පටහැනිව ක්‍රියා කිරීමක් හේතුවෙන් මෙම පරිශීලකයාට අනුගාමිකයන් ලබා ගැනීම තහනම් කර ඇත" යනුවෙනි.

වාණිජමය හානි සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්

විශේෂත්වය වූයේ ප්‍රතිප්‍රහාරය ම්බාපේව පමණක් ඉලක්ක කරනු වෙනුවට ඔහු හා බැඳුණු අනෙක් සන්නාම ද ඉලක්ක කිරීමය. ම්බාපේගේ ක්‍රීඩා සමාජය වන රියල් මැඩ්රිඩ් මෙන්ම එහි ලීගය වන ලා ලීගා වෙතද සෘජු බලපෑම් එල්ල විණි. ලොව ප්‍රමුඛතම පාපන්දු ලීග අතර එකක් වන ලා ලීගා හි තරග විකාශය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීන රාජ්‍ය මාධ්‍ය සහ විකාශන ආයතනය පියවර ගත්තේය.

ඒකාබද්ධ සමාව අයැදීම

තත්ත්වය පාලනය කරගැනීමට ම්බාපේට තනිව නොහැකි තත්ත්වය හමුවේ රියල් මැඩ්රිඩ් සමාජයට, ලා ලීගා සභාපති හාවියර් ටෙබාස්ට මෙන්ම ප්‍රංශ පාපන්දු සම්මේලනයට ද වහාම මැදිහත් වීමට සිදු විය.

ම්බාපේ වහා ප්‍රංශ, මැන්ඩරින් සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඔස්සේ සමාව ගැනීමේ ප්‍රකාශයක් කළේය. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිකුත් කෙරුණු, පළ කෙරුණු ප්‍රකාශයේ "මගේ ප්‍රකාශය නුසුදුසු එකක් වූ අතර එයින් චීනයේ මෙන්ම ලොව පුරා වෙසෙන චීන ප්‍රජාවන්හි බොහෝ දෙනකුගේ සිත් රිදුණු බව මම දැන් වටහා ගනිමි. මගේ වචන නිසා සිත් රිදුණු සැමගෙන් මම සමාව අයැද සිටිමි. මෙය කිසිසේත්ම මගේ අභිප්‍රාය නොවීය. චීන ජනතාව සහ ඔවුන්ගේ ඉතිහාසය කෙරෙහි මට ඇත්තේ ඉහළ ගෞරවයකි; ඒ පිළිබඳව මම අවංකවම කනගාටු වෙමි." යනුවෙන් දැක්විණි.

චීන විදේශ අමාත්‍යාංශය මෙම සමාව ඉල්ලීම සාධනීය ලෙස පිළිගත්තද, වාණිජ ක්ෂේත්‍රයෙන් ඔහුට සිදුවූ මූල්‍යමය හානිය සුළුපටු නොවන බව පැහැදිලිය. විශේෂයෙන්ම, චීන රාජ්‍ය මාධ්‍ය ජාලයන් මගින් ලා ලීගා තරග විකාශයන් සහ එම්බාපේ සම්බන්ධ සියලුම වැඩසටහන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගැනීමත් සමග මෙම අර්බුදය එක් ක්‍රීඩකයකුගෙන් ඔබ්බට ගොස් මුළු ස්පාඤ්ඤ පාපන්දු ක්ෂේත්‍රයටම දැවැන්ත මූල්‍යමය තර්ජනයක් එල්ල කළේය. වාර්තා වන්නේ මීට පෙර 2019 වසරේදී NBA තරගාවලියට මුහුණ දීමට සිදු වූ ආකාරයේම වසරක පමණ දීර්ඝ කාලීන විකාශන තහනමකට ස්පාඤ්ඤ පාපන්දුව ද ගොදුරු වීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බවය.

මෙම අර්බුදයේ දරුණු බව තේරුම් ගත් ලා ලීගා සභාපති හාවියර් ටෙබාස් වහාම ක්‍රියාත්මක වී ස්පාඤ්ඤයේ චීන තානාපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. රියල් මැඩ්රිඩ් කළමනාකාරීත්වය මෙන්ම ලා ලීගා පාලනාධිකාරිය ද, තමන් මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අවදානම හමුවේ චීනයෙන් නිල වශයෙන් සමාව අයැද සිටීමට කටයුතු කළහ.

ම්බාපේගේ අනාගතය

ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය පමණක් ලා ලීගා හි ජාත්‍යන්තර විකාශන අයිතිවාසිකම්වල බහුතරය සඳහා මුදල් සපයන බවය. එය 2024-25 වාරය සඳහා යුරෝ මිලියන 748 හෙවත් ඩොලර් මිලියන 834ක් බව පැවසේ. එමෙන්ම රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට අනුබද්ධ පුවත්පතක් වන 'මාර්ක' සඳහන් කරන පරිදි රියල් මැඩ්රිඩ් සමාජය ඔවුන්ගේ ජර්සි සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් ලබන ආදායමෙන් සියයට 10 සිට 15 දක්වා ප්‍රමාණයක් උපයන්නේ චීනය තුළිණි. මේ අනුව ම්බාපේට මෙන්ම, රියල් මැඩ්රිඩ් සහ ලා ලීගා හටද පිළිතුරු ලබා දෙනුයේ කුමන පරිමාණයෙන්ද යන තීරණය දැන් පවතින්නේ චීනය අතය. එය කෙලෙස විසඳුණද මෙම සිදුවීම ලෝක පාපන්දු තරු සඳහා මෙන්ම සියලු ක්‍රීඩකයන් සඳහා කදිම පාඩමක් උගන්වා ඇත. ක්‍රීඩා පිටිය තුළ ගෝල රැස්කිරීමෙන් පමණක් අද වන විට ක්‍රීඩකයකුගේ ගෝලීය ප්‍රතිරූපය රැකගත නොහැකි මට්ටමට අද ලෝකය සංකිර්ණය.

පාපන්දු ක්‍රීඩකයකු ලෙස ම්බාපේගේ දක්ෂතාවයට හෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානයට මෙම අර්බුදය නිසා කිසිදු බලපෑමක් එල්ල වී නැත. පිටිය ඇතුළේ ඔහු දක්වන අසමසම දස්කම් හමුවේ රසික ආදරය දිනාගැනීමට ඔහුට හැකියාව තිබුණද, 'වචනයක බර' කුමක්දැයි ලෝකයට පෙන්වා දුන් සිදුවීමක් ලෙස මෙම 'චීන අර්බුදය' ක්‍රීඩා ලෝකය තුළ සදාකාලික මතකයක් වනු නිසැකය.


 

More News..