brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ රන් සටන හෙට ඉන්දියාව සමග

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ රන් සටන හෙට ඉන්දියාව සමග

21 September 2026

නැගෙනහිර නගෝයාහි කරෝගි ක්‍රීඩා සංකීර්ණයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය. එහි අවසන් මහා තරගය ඉන්දියාව සමග හෙට (22 වැනිදා) පැවැත්වීමට නියමිතය.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළ අතර එහිදී අයේෂා සෆර් සහ ශවාල් සුල්ෆිකර් අර්ධ ශතක රැස් කළහ. පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17.5කදී, කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරාගත් අතර එහිදී විශිෂ්ට ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් ද, හසිනි පෙරේරා ලකුණු 42ක් ද රැස් කළෝය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් විස්සයි විස්ස තරගයක සිදුකළ ඉහළම ලකුණු හඹායාම ලෙසද වාර්තා අතරට එක් විය.


රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිතය. එසේම බංග්ලාදේශය සහ පාකිස්තානය හෙට මෙරට වේලාවෙන් උදෑසන 5.30ට ලෝකඩ පදක්කම වෙනුවෙන් සටන් වදිති. එසේම මෙම ක්‍රීඩා උළෙලේ ඊයේ පැවැති අනෙක් තරග අතරින් වූෂු චංචුආන් ඉසව්වේ සමස්ත 16 වැනි ස්ථානය හිමිකර ගැනීමට මෙරට ක්‍රීඩක කවීෂ් බණ්ඩාර සමත් වූ අතර ඔහු එහිදී මුළු ලකුණු 9.346ක් රැස් කරගත්තේය. එසේම මීටර 100 නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්වේ පළමු වටයේ තෙවැනි තරගයට එක්වූ දිසඳු නිරිඇල්ල එහි 9වැනි ස්ථානට හිමිකරගත් අතර සමස්ත කාල ගණනයේදී ඔහුට 27 වැනි ස්ථානය හිමිවිය.

 

More News..