brand logo
logo
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩාවේ නව දිශානතියක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඔරු පැදීමේ ලීගය නව ගමනක් අරඹයි

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩාවේ නව දිශානතියක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඔරු පැදීමේ ලීගය නව ගමනක් අරඹයි

06 August 2026


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆ්‍රැන්චයිස් ක්‍රමය මත සංවිධානය කරනු ලබන ඔරු පැදීමේ තරගාවලිය ලෙසින් සැළකෙන “ලංකා ඔරු පැදීමේ ලීගය”(Lanka Rowing League) නිල වශයෙන් එළිදැක්වීමත් සමඟම ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය. මෙම නව ලීගය කොළඹ ඔරු පැදීමේ සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වූ අතර, එහි අරමුණ වන්නේ මෙරට ඉතිහාසගත ක්‍රීඩාවක් වන ඔරු පැදීමේ ක්‍රීඩාව නව ආකාරයකින් ප්‍රතිනිර්මාණය කරමින්, ඉහළම මට්ටමේ තරගකාරීත්වය, නගර කේන්ද්‍රගත කණ්ඩායම් අනන්‍යතාව සහ උද්‍යෝගීමත් තරගකාරී ජීවගුණය මූලික කරගත් ශූරතා තරගාවලියක් ලෙස ඉදිරියට ගෙන යාමයි.


සමාරම්භක ලංකා ඔරු පැදීමේ ලීගයට මහනුවර, සීගිරිය, මිරිස්ස, ත්‍රිකුණාමලය, ගාල්ල සහ කොළඹ නියෝජනය කරන ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක් එක්වනු ඇත. කණ්ඩායම් වටයේ තරග සහ අවසන් පූර්ව වටය හරහා සුදුසුකම් ලබන කණ්ඩායම් 2026 දෙසැම්බර් 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆ්‍රැන්චයිස් ඔරු පැදීමේ ශූරයන් ලෙස ඉතිහාසගත වීමේ ගෞරවය සඳහා අවසන් මහා තරගයේදී තරග වදිනු ඇත.


මෙම තරගාවලිය යටතේ පිරිමි ඒකල ස්කල්ස් (Men’s Single Sculls - 1x), පිරිමි යුගල (Men’s Pair - 2-), කාන්තා ද්විත්ව ස්කල්ස් (Women’s Double Sculls - 2x) සහ පිරිමි කොක්ස්ඩ් ෆෝ (Men’s Coxed Four - 4+) යන ඉසව් පැවැත්වීමට නියමිතය. එමඟින් තනි ක්‍රීඩක කුසලතා, කණ්ඩායම් සම්බන්ධීකරණයේ නිරවද්‍යතාව සහ ඉහළ තරගකාරීත්වයෙන් යුත් තරග අත්දැකීමක් යන සියල්ල එක් ශූරතා තරගාවලියක් තුළ රසිකයන් වෙත ගෙන එනු ඇත.


ලංකා ඔරු පැදීමේ ලීගයේ හිමිකාරීත්වය දරනු ලබන්නේ විරේන් බේරුවලගේ සහ අනුක් සුරවීර සම හිමිකරුවන් ලෙස නායකත්වය දෙන Elevate Sports ආයතනයයි. හිටපු ඔරු පැදීමේ ක්‍රීඩකයකු වන අනුක් සුරවීර, ඔරු පැදීමේ ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ගැඹුරු අවබෝධයක් මෙම ව්‍යාපෘතියට එක්කරන අතර, Colombo Aces කණ්ඩායමේ ප්‍රධාන හිමිකරු වන විරේන් බේරුවලගේ, ෆ්‍රැන්චයිස් කණ්ඩායම් කළමනාකරණය සහ හිමිකාරීත්වය පිළිබඳ වටිනා අත්දැකීම් රැගෙන එයි. ඔවුන් දෙදෙනාගේ අරමුණ වන්නේ ඔරු පැදීමේ ක්‍රීඩාවේ සම්ප්‍රදායන්ට ගරු කරමින්, එය නවෝත්පාදනශීලී, ආකර්ෂණීය සහ සැමට සමීප වන නව ආකෘතියකින් ජනගත කිරීමයි.


“මෙය නව තරගාවලියක් ආරම්භ කිරීමකට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි මෙය දකින්නේ ශ්‍රී ලංකාව ඔරු පැදීමේ ක්‍රීඩාව දකින සහ අත්විඳින ආකාරය නැවත අර්ථකථනය කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසයි” යැයි විරේන් බේරුවලගේ සහ අනුක් සුරවීර පවසයි. “ඉතිහාසයේ ප්‍රථම වරට විවිධ නගරවලට තමන්ගේම වූ කණ්ඩායම්වල හිමිකාරීත්වය ලැබෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින්නේ නව අනන්‍යතාවක් සමඟයි. එමෙන්ම ක්‍රීඩා ලෝලීන්ට අනුගමනය කළ හැකි උද්යෝගිමත් ප්‍රතිවාදීත්වයක් ද බිහිවෙනවා. ඔරු පැදීම ජලය මතට පමණක් සීමා වූ ක්‍රීඩාවක් නොව, මුළු රටම ආකර්ෂණය කරන ජාතික ක්‍රීඩා සංදර්ශනයක් බවට පත් කිරීම අපගේ අරමුණයි” යැයි ඔවුන් වැඩි දුරටත් පැවැසීය. 


ලංකා ඔරු පැදීමේ ලීගය සංවිධානය කිරීම සඳහා Elevate Sports ආයතනය ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්චයිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන Eventistry Sports සමඟ එක්ව කටයුතු කරයි. ශ්‍රී ලංකා පැඩල් ලීගය, සිලෝන් පිකල් ලීගය සහ ලංකා ටෙනිස් ලීගය යන ලීගවල හිමිකාරීත්වය දරන අතර, සිලෝන් ගොල්ෆ් ලීගය සහ The Next XV Franchise Rugby League ලීගයේ කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු සිදුකරන්නේද Eventistry Sports ආයතනයයි. ෆ්‍රැන්චයිස් තරගාවලි සංවර්ධනය කිරීමේදී Eventistry Sports ආයතනය සතු සාර්ථක අත්දැකීම් මෙන්ම, ඔරු පැදීමේ ක්‍රීඩාව හා ෆ්‍රැන්චයිස් හිමිකාරීත්වය පිළිබඳ විශේෂඥ දැනුම එකිනෙක සම්බන්ධ වීම තුළින්, ලංකා ඔරු පැදීමේ ලීගයට දිගුකාලීන වර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් සැලසෙනු ඇත.


මහනුවර ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකරුවන් ලෙස මයිකල් සතාසිවම් සහ රජිත සිරිවර්ධන කටයුතු කරන අතර, සීගිරිය කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ අක්තාබ් කේඩර් සහ රුවන්ද්‍රන් වීරසිංහ යටතේය. මිරිස්ස කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ගමිඳු තෙන්නකෝන්, සජාද් අජ්මාල් සහ විමෝධ අබේවර්ධනයි. ත්‍රිකුණාමලය කණ්ඩායමේ හිමිකරුවන් ලෙස හාඩි ජමාල්දීන් සහ ශෆ්රාස් රිල්වාන් කටයුතු කරන අතර, ගාල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ඉමාල් කලුතොටගේ, මින්සන්දී කලුතොටගේ සහ සෙයාරා අල්විස් සතුය. කොළඹ ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ නිලංක පීරිස් සහ ඕෂනි ඩි සිල්වාය.


නගර හයක් නියෝජනය කරන ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක්, ඔරු පැදීමේ ප්‍රධාන ඉසව් හතරක් සහ ඉතිහාසගත ශූරතාවක් දිනා ගැනීමේ අභියෝගය සමඟින්, ලංකා ඔරු පැදීමේ ලීගය ශ්‍රී ලංකාවේ ඔරු පැදීමේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩා වේදිකාවේ නව මට්ටමකට ඔසවා තැබීමට අපේක්ෂා කරයි. කණ්ඩායම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සමාරම්භක ශූරතා තරගාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, දෙසැම්බර් මාසයේ ආරම්භ වන තරගාවලියට පෙර අදියරවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



 

More News..