ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා
27 July 2026
ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා
27 July 2026
පෙරේදා (ජූලි 25) ඉන්දියාවේ 9 වැනි අධ්‍යාපන අමාත්‍යවරයා වූ ධර්මේන්ද්‍ර ප්‍රදාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ සිද්ද වූයේ ඉන්දීය ශිෂ්‍ය අරගලයක ප්‍රතිඵල ලෙස බව මේ දිනවල ලෝක ප්‍රවෘත්ති ගැන උනන්දුවක් දක්වන්නෝ දනිති. ඒ ශිෂ්‍ය විරෝධතාවන්ට මුල් වූයේ මැයි 3 වැනිදා පැවති වෛද්‍ය උපාධි ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීමය.
ශිෂ්‍ය අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කිරීමය. එහෙත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය දීර්ඝකාලීන දේශපාලන සගයකු වූ ධර්මේන්ද්‍ර ප්‍රදාන් ඉවත් කරනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු වූයේ නැත. ඒ අනුව ශිෂ්‍ය විරෝධතා ඊළඟ පියවර කරාද යනු ඇතැයි ලෝකයා විශ්වාස කළේය.
ඊළඟ පියවර වනු ඇතැයි අපේක්ෂා කෙරුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විරෝධී උද්ඝෝෂණ ආරම්භ වීමය. අසල්වැසි ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ හා නේපාලයේ සිදුවූවාක් මෙන් ඉන්දියාවේද ආණ්ඩු පෙරළියක් සිද්ද වෙන තැනට ශිෂ්‍ය අරගල මෝරනු ඇතැයි ඇතැම්හු බලාපොරොත්තු වූහ. එහෙත් මේ අවස්ථාවේ එය සිදු නොවූ අතර ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් කැරපොතු ජනතා පක්ෂය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග ආපසු ගෙවල්වලට යන ලෙස අරගලකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
නරේන්ද්‍ර මෝදිට විහිළුවක් කිරීම පවා සිරදඬුවම් ලැබෙන වරදක් වන තරමට බලවත් වූ රටක ඔහුට විරුද්ධව ශිෂ්‍යයන් පාරට බසින තරමට දුරදිග යෑම විශාල පරිවර්තනයක් බව සැබෑය. එහෙත් තමන්ගේ ආණ්ඩුවේ බලවත්කමින් හිස උදුම්මා නොගැනීමට මේ අවස්ථාවේ මෝදි ප්‍රඥාවන්ත විය. ඉන්දියාවට අමුත්තක් නොවූ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සුළුවෙන් නොතැකූ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් අර්බුදය ඔඩු දුවන්නේ නැතිව නතර වුණේය.
එහෙත් මීට ටික දිනකට පෙර අපේ රටේ මීගමු බන්ධනාගාර ගැටුම අවස්ථාවේ අදාළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍යවරයා හැසිරුණේ මේ ආකාරයට නොවේ. ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට ඔහු ඍජුව වගකිවයුතු තත්ත්වයක් නොතිබියදීය. එහෙත් මීගමු බන්ධනාගාර සිද්ධිය ඊට හාත්පසින්ම වෙනස් විය.
බන්ධනාගාර ගැටුමකින් රැඳවූවන් දෙදෙනකු මියගිය මුල් දිනයේම ඒ තත්ත්වය සමනය කිරීමට පියවර ගත යුතුව තිබුණේය. ගැටුම් ඇති කරගත් රැඳවූවන් වෙනත් බන්ධනාගාර කරා මාරුකර යැවීමට බන්ධනාගාර අධිකාරීන් පියවර ගෙන තිබුණේ නැත. තමන්ගේ සහයෝගය ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පොලිසිය කැඳවීමක්ද නොවීය.
පසුවනදා නිලධාරීන් හා රැඳවූවන් දුසිම් ගණනින් මිය යන තුරු බන්ධනාගාර භාර අමාත්‍යවරයා ඒ පැත්ත පළාතේ ගියේ නැත. මීගමු යන්නට ඕනෑ නැත. රැඳවූවන් දෙදෙනකු මිය ගිය පසුවද ඊළඟට ගත යුතු පියවර ගැන ඔහු බන්ධනාගාර අධිකාරිය සමග සාකච්ඡා කර නොතිබුණේය.
එහෙයින් මීගමු බන්ධනාගාර සිද්ධියට අධිකරණ අමාත්‍යවරයා වගකිවයුතු යැයි විපක්ෂය කළ චෝදනාව සාධාරණය. අමාත්‍යවරයා ඔහුට විරුද්ධව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා විවාදයේදී කියා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සියලුදෙනා තමන් සමග සිටින බව සහතික බවය. ඔවුහු අධිකරණ අමාත්‍යවරයා රැකගැනීමට ඡන්දය පාවිච්චි කිරීමෙන් තුමුන්ද මීගමු සිද්ධියට අනියම් වැරැදිකරුවන් බවට පත් වූහ.
2022 අරගල අවස්ථාවේදීද අපේ රටේ මෙබඳු තත්ත්වයක් ඇති වූ බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නන්ට මතක තිබේ. රටේ තිබූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මුලින්ම විරෝධය නැගුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියා කලාපයට විරුද්ධවය. එතැනදී ඔහු ඉල්ලා අස්වූයේ නම් අරගලය එය ගමන් කළ දුර නොයන්නට ඉඩ තිබුණේය.
පසුව බැසිල් රාජපක්ෂ පමණක් නොව මහින්ද රාජපක්ෂද තමන් ඉසිලූ අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූයේය. එහෙත් ඒ වන විට විරෝධතා රැල්ල මුළු ආණ්ඩුවම යට කරමින් දෙගොඩ තලා ගලමින් තිබුණේය. මුලදී බැසිල් අස් නොවූ වරදින් අවසානයේ ගෝඨාභයටද ගෙදර යන්නට වුණේය.
ඉකුත් ආණ්ඩු සමයේ පිටරටින් බාල ඖෂධ ගෙන ඒමේ චෝදනාවක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එල්ල වූ අවස්ථාවේ විපක්ෂය ඔහුට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව සිය ශක්තිය පෙන්වමින් පරාජය කළේය. එහෙත් පසුව අමාත්‍යවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන්නටද, බන්ධනාගාරගත වන්නටද සිදුවිය. එදා ඔහුට පක්ෂව ඡන්දය දුන් ඉතා වැඩිදෙනා දැන් දේශපාලන අනාථයන් බවට පත්ව සිටිති.
මීගමු බන්ධනාගාර සිද්ධියේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයාට ඉල්ලා අස්වන්නට සැලැස්සුවේ නම් එය ආණ්ඩුවේ ගිණුමට ලකුණු දමාගන්නට තිබුණු අවස්ථාවකි. ඉන්දීය ආණ්ඩුව ආණ්ඩු විරෝධී අරගලය දුරදිග යෑමෙන් වළක්වා ගත්තේ සිය බලසම්පන්න අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන්නට ඉඩ හැරීමෙනි. ඉන් ප්‍රදර්ශනය කෙරුණේ ඒ ආණ්ඩුවේ දේශපාලන දූරදර්ශීභාවයයි.
අපේ ආණ්ඩුව සිය බලය ප්‍රදර්ශනය කරන්නට ගොස් සිය බලය ශක්තිමත් කරගැනීමට තිබූ අනර්ඝ අවස්ථාවක් මගහැර ගත්තේය.

