brand logo
logo
ඇත් රජු මරා ගත්තාද?

ඇත් රජු මරා ගත්තාද?

19 October 2026

කාවන්තිස්ස ඇතාට වෙඩි වැදුණු අවස්ථාවේද අපි මේ තීරුව ඔහු වෙනුවෙන් වෙන් කළ බව මතක් කරමින් අද දවසේ ලියවිල්ල පටන් ගනිමු. එහිදී ඇත් රජු යන සාහිත්‍යමය යෙදුමට මොනවට ගැළපෙන කාවන්තිස්ස රැකගැනීමේ අවශ්‍යතාවය අප විසින් පුනපුනා කියා සිටින ලදී. අප පමණක් නොව මුළු රටේම වනසතුන්ට ළැදි පිරිස් කී දේවල් බීරි අලින්ට වීණා වාදනයක් කරමින් ඒ ප්‍රෞඪ සත්ත්වයාට ඉකුත් 16 වැනිදා සියඹලංගමුව කුඹුරකදී මියයන්නට ඉඩහරිනු ලැබුවේය.


කාවන්තිස්ස මැරුණා නොව මරාගත්තා යැයි රට්ටු සමාජ මාධ්‍ය ඔස්සේ නොපැකිළිව මේ ආණ්ඩුවට කියා සිටිති. කෘෂිකර්ම අමාත්‍යවරයා ටික කලකට පෙර තමන්ගේ වගාවට වනසතුන් කරන හානි සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගැනීමට ගොවීන්ට පුළුවන් යැයි කියා වනඅලින් මරා දැමීමට රාජ්‍ය අනුමතිය දුන්නේය. රටකම සෝ සුසුම් තමන් දණින් ඉහළට නොගන්නා බව පෙන්වමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කියා තිබුණේ කොහොමටත් කාවන්තිස්ස සිටියේ සිය ආයු කාලයේ අග භාගයේ බවයි.


ලාල්කාන්තගේ හා රංජන් මාරසිංහගේ හිතක් පපුවක් නැති ප්‍රකාශවලින් ප්‍රදර්ශනය කෙරුණේ ඔවුන් සහකම්පනයක් නැති නායකයන් හා ප්‍රධානීන් බවය. ආණ්ඩුව තමන්ට වනසතුන් ගැන කැක්කුමක් නැති බව මෙසේ ප්‍රකාශ කරද්දී කාවන්තිස්සගේ මරණයේ වගකීම ඔවුන් පිටට වැටීමේ කිසිම පුදුමයක් නැත. ඒ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වනසතුන්ට ආදරය කරන්නෙකු හැටියට කාවන්තිස්ස වෙනුවෙන් අවසාන මොහොතේදී කළ මැදිහත් වීම දේශපාලන භේදයකින් තොරව අගය නොකර බැරිය.


ගෘහස්ථ සතෙකුට හෝ සත්වෝද්‍යානයක වෙසෙන සතෙකුට හෝ වඩා කැළෑවේ සිටින දැවැන්ත ඇතෙකුට ප්‍රතිකාර කිරීම පශු වෛද්‍යවරුන්ට අපහසු බව ඇත්තය. එසේ වුවද ඇන්ටිබයොටික් අධිමාත්‍රාවන් දීමෙන් කාවන්තිස්ස ඇතාගේ ආමාශයේ තිබූ හිතකර බැක්ටීරියා විනාශවීම නිසා ඔහුගේ විවිධ ඉන්ද්‍රියයන් අඩපණ වීම හා නතර කළ නොහැකි ලෙස බඩඑළිය යෑම සිදුවූ බවට පරිසරවේදීන් නගන චෝදනා බරපතළය. එහෙත් විවේචනයන්ට පිළිතුරු දීමක් මෙහිදී දකින්නට ලැබෙන්නේ නැත.


ආණ්ඩුව ආරම්භයේ පටන්ම මේ සමස්ත සිදුවීම කළමනාකරණය කළ ආකාරය සාවද්‍ය බව අපේ නම් අදහසයි. ඔවුන් ඒ වෙනුවට කළේ මේ සිද්ධිය නිසා මහජනයා අතර හානියට පත්විය හැකි තමන්ගේ ප්‍රතිරූපය රැකගැනීමට කටයුතු කිරීමයි. කාවන්තිස්සගේ අවසාන පැය කීපයේදී තායිලන්තයෙන් විශේෂඥයන් ගෙන්වන බවට කළ ප්‍රචාරය මීට හොඳම දාහරණයයි.


විදේශ විශේෂඥ සහාය ලබාගැනීමට තිබුණේ කාවන්තිස්සට වෙඩි වැදුණු මුල් දිනවලදීම මිස කාවන්තිස්ස මියැදෙන්නට ඇදවැටීමෙන් පසුව නොවේ. එහෙත් ඔහුගේ පණනල තව දින කිහිපයක් රැකුණේ නම් ආණ්ඩුව තායිලන්තයෙන් විශේෂඥයන් ගෙන්වා විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා නොඅනුමානය. එවිට තමන් කළ යුතු සියල්ල කළේ යැයි ආණ්ඩුවට පහසුවෙන් අත සෝදාගන්නට තිබුණේය.


මේ ප්‍රශ්නයේදී විෂය භාර අමාත්‍ය ධම්මික පටබැඳිට ඉල්ලා අස්වන ලෙස කියන තරමට ඔහුට විරුද්ධව රටේ විරෝධයක් මතුවී තිබේ. ඊට හේතුව ආණ්ඩුව හැම කාරණයකදීම පෙන්නුම් කරන හැසිරීම එනම් තමන් සියල්ල දත් යැයි යන ප්‍රතිරූපය ඔහු විසින්ද අඩුවැඩි නැතිව පවත්වාගෙන යෑමය. මෙහිදී ආණ්ඩුවට කළ නොහැකි වූයේ මෙය හැත්තෑහය අවුරුදු සාපයෙන් සිදුවූවක් බව කියාපෑම පමණය.


එසේ වූයේ කාවන්තිස්ස ඇතෙක් වීම නිසාය. ඔහු දේශපාලන පක්ෂයක්, ඡන්ද බලයක් ආණ්ඩුවට විරුද්ධ මතවාදයක් නැති වනසතෙකු වීම හේතුවෙන් ආණ්ඩුවට ඒ වාසිය ලබාගැනීමට නොහැකි විය. එසේ වුවද කාවන්තිස්ස ප්‍රදේශවාසීන්ට විශාල හිරිහැරයක් වූ සතෙකු යැයි එක් එක් උදවිය ලවා කියවීමෙන් මේ මරණයෙන් වූ අයහපතක් නැතැයි රටට ඒත්තු ගන්වන පහත් උත්සාහය ගැනද සඳහන් නොකර බැරිය.


මේ අවස්ථාවේදී රටේ විශාල පිරිසක් කාවන්තිස්සගේ මරණය ගැන සිය ශෝක ප්‍රකාශ නිකුත් කරන නමුදු සතියකින් දෙකකින් ඒ වියැකී යනු ඇත. එහෙත් අවාසනාව වන්නේ අලින්ගේ ප්‍රශ්න ඒ සමග අවසන් නොවීමයි. මේ අවුරුද්ද තුළ පමණක් වනඅලින් 200 ක් මියගොස් ඇතැයි කියනු ලැබීමෙන්ම ඒ බව සිතාගත හැකිය.


එහෙයින් වනඅලින්ගේද ඔවුන්ගෙන් සියයට 7-8ක් පමණ දළ ඇතුන්ගේද ආරක්ෂාව ගැන අදාළ සියලු පාර්ශ්වයන්ගේ උපදෙස් ලබාගෙන ස්ථිරසාර වැඩපිළිවෙළක් තනන මෙන් වනසතුන්ට ළැදි සියලුදෙනා වෙනුවෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු. වනඅලින්ගේ ආරක්ෂාව පිළිබඳ සුවිශේෂී ක්‍රමවේදයක් ඇතැයි ප්‍රකට කෙන්යාව ඇතුළු එබඳු ක්‍රියාමාර්ග අනුගමනය කරන අනෙකුත් රටවලින්ද ඒ සඳහා සහාය ලබාගත හැකි බවද මෙහිදී සිහිපත් කළ යුතුය. නොඑසේනම් ආණ්ඩුවට සුපුරුදු පරිදි සියල්ල දන්නේ අපම නොවේදැයි ආකල්පයෙන් කටයුතු කර එකම තැන කරකැවෙමින් සිට එහි ප්‍රතිඵලද භුක්ති විඳීමට පුළුවන.

 

More News..