FBI ආයතනයට අත්‍යවශ්‍යම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙක්සිකෝවේදී කොටුවෙයි
22 November 2026
FBI ආයතනයට අත්‍යවශ්‍යම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙක්සිකෝවේදී කොටුවෙයි
22 November 2026
FBI ආයතනයේ වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන් දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි මෙක්සිකානු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එරට ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ ‘චාපෝ ඉසිඩ්‍රෝ’ මෙසා ෆ්ලෝරස් (Fausto Isidro "Chapo Isidro" Meza Flores) නමැති මෙම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු මෙක්සිකානු විශේෂ බලකාය විසින් සිනාලෝවා ප්‍රාන්තයේ ගුවාසාවේ (Guasave) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් හත්දෙනෙකු මියගොස් ඇති අතර, ගුවාසාවේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක භට පිරිස් රැගෙන යමින් සිටි මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු ද මියගොස් තිබේ.
මෙසා ෆ්ලෝරස්ට එරෙහිව සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙක්සිකෝවේ නඩු පවරා ඇති අතර, ෆෙන්ටැනිල්, කොකේන්, හෙරොයින් ඇතුළු මාරාන්තික මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අමෙරිකාවට සපයා ඇති බවට FBI ආයතනය ඔහුට චෝදනා එල්ල කර තිබේ.
ඔහු අමෙරිකාවට පිටුවහල් කර ගැනීමට ද එරට බලධාරීන් කටයුතු කරමින් සිටී.
මෙසා ෆ්ලෝරස් 1990 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් ක්ෂේත්රයේ ක්‍රියාකාරීව සිට ඇති බව සැලකෙන අතර, මෙතෙක් බලධාරීන්ගෙන් සැඟවී සිටීමට සමත්ව තිබුණේ අඩු ප්‍රසිද්ධියක් පවත්වාගෙන යාම හේතුවෙන් බවද වාර්තා වේ.
අමෙරිකානු බුද්ධි අංශ ලබාදුන් ඔහුගේ ස්ථානගත වීම පිළිබඳ තොරතුරු මත මෙක්සිකානු විශේෂ බලකාය මෙම මෙහෙයුම දියත් කර තිබේ.
ඒ අනුව, හදිසි හා රහසිගත මෙහෙයුමක් ඔස්සේ මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ගොඩනැඟිල්ලට ඇතුළුවීමට පෙර ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අටදෙනා අතර මෙසා ෆ්ලෝරස්ගේ ඥාති සහෝදරයෙකු වන එම සංවිධානයේ දෙවැනි ප්‍රධානියා සහ සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවන ඔහුගේ මස්සිනා ද සිටින බව ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරයි.
මෙහෙයුම අතරතුර අත්බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ ගිනිඅවි රැසක් මෙන්ම මත්ද්‍රව්‍ය සහ මුදල් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇති වූ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙක්සිකෝවේ හර්මෝසිලෝ (Hermosillo) නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් ජනරාල් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අහෝමේ (Ahome), ගුවාමුචිල් (Guamúchil), ගුවාසාවේ (Guasave) සහ නවලටෝ (Navolato) ප්‍රදේශවල ආරක්ෂක මෙහෙයුම්, සන්නද්ධ ගැටුම්, මාර්ග අවහිර කිරීම් සහ වාහන ගිනි තැබීම් පිළිබඳ වාර්තා නිරීක්ෂණය කරමින් සිටින බව එම කොන්සල් කාර්යාලය සඳහන් කර ඇත.
එම ප්‍රදේශවල සිටින අමෙරිකානු පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙසත්, පදිංචිකරුවන්ට ආරක්ෂාව සඳහා නිවාස තුළ රැඳී සිටින ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
2025 වසරේදී මෙසා ෆ්ලෝරස් FBI ආයතනයේ වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන අවස්ථාවේදී පැහැර ගැනීම්, කප්පම් ගැනීම් සහ වධහිංසා පැමිණවීම් ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
එවකට FBI වැඩබලන අධ්යක්ෂ බ්‍රයන් ඩ්‍රිස්කෝල් සඳහන් කර තිබුණේ මෙසා ෆ්ලෝරස් සහ ඔහුගේ සංවිධානය මෙක්සිකෝව සමඟ ඇති අමෙරිකාවේ දකුණු දේශසීමාව හරහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.
2012 වසරේදී අමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔහුට මුලින්ම චෝදනා ගොනු කර තිබූ අතර, 2019 වසරේදී යළිත් චෝදනා එල්ල කර තිබේ.
වයස අවුරුදු 44ක් වන මෙසා ෆ්ලෝරස් 2005 සිට 2019 දක්වා කාලය තුළ කොකේන්, හෙරොයින්, මෙතැම්ෆෙටමින් සහ මරිජුවානා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට කුමන්ත්‍රණය කළ බවට ද චෝදනා ලබා සිටී.
ඔහු මුලින් බෙල්ට්‍රාන් ලේවා සංවිධානයේ (Beltrán Leyva Organization) ඉහළ පෙළේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, එම සංවිධානයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර ඇති වූ බෙදීමත් සමඟ ප්රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති අතර, 2013 වසර වන විට ඔහු තමන්ගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් පිහිටුවාගෙන තිබේ.
2024 වසරේදී මෙක්සිකානු බලධාරීන් විසින් ෆෙන්ටැනිල් පෙති මිලියන 20ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය මෙසා ෆ්ලෝරස්ගේ කාටෙල් සංවිධානයට සම්බන්ධ බවට වාර්තා වීමෙන් පසු ඔහු FBI හි වැඩිම අවශ්‍යතාවක් ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබිණි.


