බිලියන ගණන් ඉලක්කම්වලින් මිලියන විසිදෙකේ බඩ කට පිරේවිද?
16 November 2026
බිලියන ගණන් ඉලක්කම්වලින් මිලියන විසිදෙකේ බඩ කට පිරේවිද?
16 November 2026
රට්ටුන් විශ්වාස කළේ වැඩිම අයවැය කතා ගණනක් පැවැත්වූ රොනී ද මැල් දීර්ඝතම අයවැය කතාවද පැවැත්වූ තැනැත්තා බවය. එහෙත් සංඛ්‍යාලේඛන කියා සිටින්නේ ඒ තැන දිනාගන්නේ අනුර කුමාර දිසානායක මෙවර පැවැත්වූ අයවැය කතාව බවය. ඔහු විසින් මෙවර බිඳහෙලන ලද්දේ ඉකුත් වසරේදී ඔහු විසින්ම තැබූ වාර්තාවය.
ගිය අවුරුද්දේ අයවැය කතාව පැය හතරයි විනාඩි විස්සක් තිස්සේ කෙරුණු අතර මෙවර එය පස්වරු 1.30 සිට 6.30 දක්වා පැය පහක් පැවැත්වුණේය. සිංහල මුද්‍රිත පිටු හැත්තෑවකින් හා වචන 100,000 කින් එය සමන්විත විය. එය සැබැවින්ම මේ ආණ්ඩුවේ ආධාරකරුවන්ට සතුටු විය හැකි ජයග්‍රහණයකි.
එහෙත් මෙවර අයවැය කතාවේ එකම ජයග්‍රහණය එයද යන ප්‍රශ්නයද මෙහිදී මගහරින්නට බැරිය. මෙය ඉලක්කම් හා පොරොන්දුවලින් නම් ආකර්ෂණීය බව සැබෑය. එහෙත් ඇසිය යුතු ප්රශ්නය වන්නේ එය රටේ ආර්ථිකය වෙනස් කරන අයවැයක්ද යන්නය.
අයවැයක් යනු ආණ්ඩුවේ ආදායම හා වියදම පමණක් හෙළිකරන ලේඛනයක් නොවේ. ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය කොතැනකට ගෙන යන්නේද ඒ ගෙනයන්නේ කෙලෙසද යන්න ඉන් පෙන්නුම් කළ යුතුය. එහෙත් මේ අයවැයෙන් එබන්දක් පෙනී යන්නේද යන්න නම් සැකසහිතය.
රටේ ආර්ථිකය යහපත් තැනකට ගමන් කරමින් සිටින්නේ නම් එය සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාවෙන් පිළිබිඹු විය යුතුය. ඔවුන්ට ජීවන වියදම දරාගත හැකි විය යුතු අතර ඒ සඳහා ගැළපෙන ආදායමක් ලැබෙන රක්ෂාවක ස්ථාවරත්වය තිබිය යුතුය. ඔවුන්ට තමන්ගේ හා සිය දරු පවුලේ අනාගතය ගැන විශ්වාසයකින් ජීවත් විය හැක්කේ එවිට බැවිනි.
බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක ආර්ථිකය දැන් ස්ථාවරභාවයකට පැමිණ ඇති නමුදු ආණ්ඩුව කියන පරිදි එය ඇතිකරන ලද්දේ ඔවුන් විසින් නොව පැය දෙකකට අඩු අයවැය කතා පැවැත්වූ රනිල් වික්‍රමසිංහ විසිනි. එයාකාරයෙන්ම අයවැය කතාවේදී රටේ ආර්ථිකය ගැන ආණ්ඩුව කියූ ඇතැම් දේවල්ද හිතලුය. ලබන අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය සියයට 7ක් වනු ඇතැයි අයවැයෙන් කියද්දී ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ එය සියයට 4.2කට වඩා වැඩි නොවනු ඇති බවය.
ආර්ථිකයේ වර්ධනයට නම් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි පසුබිමක් රටේ තිබිය යුතු වුවද එවැනි තත්ත්වයක් ගොඩනැගීමට ආණ්ඩුවට නුපුළුවන් වී තිබේ. ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී විදේශ ආයෝජකයන් පැමිණීම අතින් අපේ රට පවතින්නේ ඉතා පහළ තැනකය. එපමණක්ද නොව අසීමිත බදු අයකිරීම් නිසා දේශීය වශයෙන්ද ව්‍යාපාරවලට වර්ධනය විය හැකි තත්ත්වයක් රටේ ඇත්තේ නැත.
රටේ සාමාන්‍ය මිනිසුන්ට ආර්ථිකය ගොඩඒම යනු කෑම බීම, විදුලිය, ගමනාගමනය, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් දරාගත හැකි මට්ටමකට පැමිණීමය. එහෙත් දවසින් දවස ඉහළ යන ජීවන වියදම නිසා ඔවුන්ට දෙකොණ ගැටගසා ගැනීම අසීරු වී තිබේ. බිලියන ගණන්වලින් පෙන්වාදෙන ඉලක්කම්වලින් ඔවුන්ට ප්‍රයෝජනයක් වන්නේ බිලියන ගණනක ආර්ථික ජයග්‍රහණ ලැබුවහොත් පමණය.
බොහෝ දෑ කියූ අයවැයෙන් නොකී දෙයක් වන්නේ අපේ රටේ අවුරුදු 24ට අඩු තරුණ පිරිස් අතරේ විරැකියාව සියයට 17.8ක් වන බවත් තරුණියන් සම්බන්ධයෙන් නම් ඒ ගණන ඊටත් වඩා වැඩි බවත්ය. මේ හුදෙක් සංඛ්‍යාලේඛන නොව රටේ තරුණ පරපුරේ අනාගත අවිනිශ්චිතතාව පිළිබඳ කතාන්දරයයි. මින් සිදුවන්නේ රටේ තරුණ පරපුර රටින් පිටවීම සිය ජීවන පරමාර්ථය කරගැනීමය.
අදාළ පවුල්වල ආර්ථිකයට ඉන් තාවකාලික යහපතක් වනු ඇති බව සැබෑය. එහෙත් ඒ සමගම රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායක් නැතිවීමේ මදිපාඩුවද පිරිමසාගත හැක්කක් නොවේ. මෙය අනාගත වාක්‍යයක් නොවන්නේ ඒ තත්ත්වය රට දැනටමත් අත්දකිමින් සිටින නිසාය.
විපක්ෂයේ සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු හළාහල විසක් හැටියට සැලකුවද බලයට පත්වීමෙන් පසු රට කරගෙන යෑමට මේ ආණ්ඩුවට අන් සරණක් තිබුණේ නැත. 2027 දී අයිඑම්එෆ් ගනුදෙනුව අවසන්වීමට නියමිත වන අතර තවමත් විපක්ෂ මානසිකයේ ජීවත්වන ඇතැම් නායකයන් ප්‍රකාශ කරන්නේ ඒ එතැනින් හමාරවන බවය. එහෙත් අසීමිත බදුවලින් උපයාගත් රුපියල් මිස අපනයන දියුණු කර ලබාගත් ඩොලර් නොමැති හෙයින් ආණ්ඩුවට අලුත් අයිඑම්එෆ් ගිවිසුමක් නොයා බැරි තත්ත්වයක් තිබෙන බව නොසලකා හැරිය නොහැකිය.
අයවැයෙන් ඉදිරිපත් කරන ලද බිලියන ගණන් ඉලක්කම්වලින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සැනසීමට නම් පුළුවන් විය හැකිය. එහෙත් අයවැයේ සාර්ථකත්වය මැනිය හැක්කේ ඉන් මිලියන ගණනක් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සිදුවුවහොත් පමණය. එය එසේ සිදුවේදැයි දකින්නට වැඩි කාලයක් බලා සිටිය යුතු නැත.


