brand logo
logo
නෝට්ටු මිලියන 142ක් සංසරණයෙන් ඉවතට

නෝට්ටු මිලියන 142ක් සංසරණයෙන් ඉවතට

22 April 2026 | •සාලිය කුමාර ගුණසේකර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2025) මිලියන 142 කට ආසන්න මුදල් නෝට්ටු ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් කර ඇතැයි මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025 වාර්තාව සඳහන් කරයි.


මෙලෙස සංසරණයෙන් ඉවත් කරන ලද මුදල් නෝට්ටු මිලියන 141.55 වටිනාකම රුපියල් බිලියන 91කට වැඩිය (රුපියල් බිලියන 91.23).


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංසරණයේ පවතින අපිරිසුදු, විකල වූ සහ අනෙකුත් අයුරින් භාවිතයට නුසුදුසු නෝට්ටු සහ කාසි ක්‍රමානුකූලව සංසරණයෙන් ඉවත්කර ඒවා භාවිතයට සුදුසු මුදල්වලින් ප්‍රතිස්ථාපනය කරන්නේය.


එමෙන්ම, ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකය සමඟ කටයුතු කරන්නේය.


අධිකරණ කටයුතුවලදී මුදල් නෝට්ටු අනුකරණය කර ඇති බවට අවාසානාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු යන්න තීරණය කිරීමේ සහතික 83 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2025) නිකුත් කර ඇති අතර, ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධ අධිකරණ නඩු 13ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගි වී තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හුවමාරු කවුළු හරහා ඉකුත් වසරේදී රුපියල් මිලියන 1,139ක මුදල් නෝට්ටු සහ රුපියල් මිලියන 11.84ක (එකොළහයි දශම අටයි හතර) කාසි හුවමාරු කර ඇත. එමෙන්ම, රුපියල් මිලියන 196කට වැඩි (196.46) පලුදු වූ මුදල් නෝට්ටු හුවමාරු කර ඇත.

 

More News..