brand logo
logo
 වාහන ආනයන වියදම ඩො.බිලියන 3ට නගී - වාහන මිලත් 10%කින් ඉහළට

වාහන ආනයන වියදම ඩො.බිලියන 3ට නගී - වාහන මිලත් 10%කින් ඉහළට

16 May 2026 | සාලිය කුමාර ගුණසේකර


වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයන වියදම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන තුනකට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අනාවරණය කරයි.


2025 වසරේදී වාහන ආනයන වියදම ඩොලර් බිලියන 2. 04 ක් (දෙකයි දශම බිංදුවයි හතරක්) වූ අතර මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වියදම ඩොලර් මිලියන 613 ක් වේ. වාහන ආනයනය කිරීම 2019 වසරෙන් පසු නතර කෙරිණි. 2015 සහ 2018 වසරවලදී වාහන ආනයනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 2 ඉක්මවා වියදම් කර ඇත.


මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කිරීමට රජය කටයුතු කළ අතර, ඒ අනුව ඉකුත් වසරේ (2025) ජනවාරි මාසය වනවිටදී පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවැති සියලුම සීමා ඉවත් කෙරිණි.


කෙසේ නමුත්, රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහන ආනයනය සම්බන්ධව රජයේ අවධානය මේ වනවිට යොමුවී තිබේ. වාහන ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා මහනුවරදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමකදී යම් අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරුවලට අනුව ඉකුත් සිකුරාදා (15 වැනිදා) දිනයේදී එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 331 ක් දක්වා (331.1572) ඉහළ ගොස් තිබුණි. එමෙන්ම, ගැනුම් අනුපාතිකය වූයේ රුපියල් 323 කි (323.5345). මේ අනුව, රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.


ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරුවලට අනුව 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මැයි මස 08 වැනිදා දක්වා වූ කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.6 කින් (තුනයි දශම හය) අවප්‍රමාණයවී ඇත. ඩොලරය ශක්තිමත් වීමත් අනෙක් මුදල් ඒකක දුර්වල මට්ටමට පත්වීමට හේතුවී ඇත්තේ ගෝලීය අවිනිශ්චිතතාව බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. මෙරට විනිමයට සිදුවී ඇත්තේ බාහිර කම්පනයන්ට මුහුණදීමට සිදුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති වැඩසටහනකදී පසුගියදා කියා සිටියේය.


මෙම කාරණා මත වාහන ගෙන්වීම තවදුරටත් සිදු කරන්නේද, නැතිද යන්න සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් මේ සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.


මේ අතර, ආනයනික වාහන සඳහා පවතින සමාජ ආරක්ෂණ බදු ගණනය කිරීමේ වෙනස, ඩොලරයේ අගය ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් ඉදිරි සතිවලදී වාහන මිල ගණන් සියයට 10 කින් පමණ ඉහළ යාහැකි බව වාහන ආනයනකරුවෝ කියා සිටිති.


මේ අනුව, රුපියල් ලක්ෂ 140 ක් පමණ වන Raize වර්ගයේ මෝටර් රථයක් රුපියල් රුපියල් ලක්ෂ අටත් දහයත් අතර මිලකින්ද, Yaris වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 4 ත් 5 ත් අතර මිලකින්ද, Vezel වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12 කින්ද, Land Cruiser වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ 30 කින් පමණ ඉහළ යාහැකි බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති.


ආනයනය කරන ලද වාහන දස දහසකට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ තිබෙන බවද පැවසේ.

 

More News..