brand logo
logo
ගැහැනු ළමයි හත්දෙනාගෙන් රවීන්ට කවුරු ගැළපෙයිද?

ගැහැනු ළමයි හත්දෙනාගෙන් රවීන්ට කවුරු ගැළපෙයිද?

12 October 2026 | අරුණි ජයසේකර

සම්මානනීය ගීත රචකයකු අධ්‍යක්ෂවරයෙක්, තිරපිටපත් රචකයකු, මෙන්ම ටෙලිනාට්‍යය නිෂ්පාදකවරයකු වන ජානක සිරිවර්ධන මේ දිනවල ඔබ හමුවන්නේ දෙරණ නාලිකාවෙන් විකාශය වෙන හත්වන මනාලී ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා ලෙසයි.


මේ කතාබහ අරම්භ කරමින් හත්වෙනි මනාලී ටෙලි නාට්‍යයේ තේමාව පිළිබඳ මුලින්ම කතා කළා...


 කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බිස්නස් එකක් කරන විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කළ තරුණයෙක් වටා මෙම කතාව ගොඩනැගෙනවා. මෙයාට විශ්වවිද්‍යාල ජීවිතයේ පෙම්වතියක් ඉන්නවා. ඇය සල්ලිකාර පවුලක කෙනෙක්. එහෙත් ඒ පෙම්වතිය මොහු ගැන වැරැදි අවබෝධයක් ඇතිකරගෙන සම්බන්ධය නතර කරනවා. ඒ ඇතිවන සිත් බිඳීමත් එක්ක ඔහු කවදාවත් කිසිම ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගන්නේ නැහැ. නමුත් ගෙදර අයට ඕන තමන්ගේ පුතාගේ හිත වෙනස් කරලා ඉක්මනින්ම කෙනෙක්ව කසාද බන්දලා දෙන්න. ඒ සඳහා මගුල් යෝජනා ගේනවා. ඔහුට මනාලියන් සොයා යන ගමන ටෙලි සිත්තමක් වෙලා හත්වෙනි මනාලී ලෙසින් පුංචි තිරයේ දිගහැරෙනවා.


 මේ කතා තේමාව තුළින් සමාජ ගත කරන්න බලාපොරොත්තු වන පණිවුඩය පිළිබඳ ඔහු මෙසේ පවසනවා...


 රූපවාහිනීය කියන්නේම රසාද්වාදය වෙනුවෙන් හැදුණ මෙවලමක්. අධ්‍යාපනය සෞඛ්‍ය කියන්නේ එහි ප්‍රධාන ධාරාවෙන් පිට ගිය තේමාවන්. ඒ අනුව රූපවාහිනීයේ ප්‍රධාන ධාරාව වෙන්නේ ප්‍රේක්ෂකයන්ට ආශ්වාදය ලබාදීම. එදා ඉඳලා අද දක්වා බිහිවුණු ටෙලි නාට්‍යය දෙස බැලූවිට මොනතරම් වෙනස්කම් සිද්ධවෙලා තියෙනවා කිවුවත් හැමදාම අපි තේමාව කරගෙන තිබෙන්නේ එකම එක දෙයක්. නමුත් මේ කතාවෙන් ප්‍රේක්ෂකයන්ට අමුතු අද්දැකීමක් ලැබෙනවා.


 එම ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් ලැබෙන බව ඔහු පැවසුවේ ඉතාමත් විශ්වාසයෙනි.


 මේ නාට්‍යයේ ගැහැනු ළමයි හත්දෙනෙක් ඉන්නවා. මෙයාට මොනවා වෙයිද? මෙයා මෙයාට ගැළපෙයිද? මෙයා මෙයා බඳීවිද? කොතනද මෙයා නතර වෙන්නේ කියන කුතුහලය ප්‍රේක්ෂකයන්ට ඇතිවෙනවා. ඒ වගේම. ප්‍රේමයන් හතක්. මේ හත් දෙනාගේ ස්වභාවය වෙනස්. එහිදී නැටුම් ගුරුවරියක්, ආයුර්වේද වෛද්‍යවරියක් නීතිඥවරියක්, ක්‍රීඩිකාවක් ගෘහණියක් වගේ එක එක සමාජ තලවල ජීවත් වෙන වෙනස් වෙනස් අත්දැකීම් තිබෙන හත් දෙනෙක් හමුවෙනවා. එහිදී ඔවුන්ගේ ආදරය එකිනෙකට වෙනස්. ආදරය කියන අකුරු හතර එකක් වුණාට මේ හත් දෙනාගේ කැමැත්ත ආශාවන්, ක්‍රියාවන් වෙනස්. මේ සමාජයේ අපි බොහෝවිට දකින්නේ තුන්කොන් ප්‍රේමයක්. එහෙත් මේ ටෙලි නාට්‍යයේ දී එකම තැන ප්‍රකාශනයන් හතක තිබෙන අත්දැකීම්වල මිහිරියාව ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනත් තිබෙනවා.


 මේ සඳහා බලාපොරොත්තු වන ප්‍රතිචාර ගැන අදහස් දැක්වන්නත් අමතක කළේ නැහැ.


 අපේ අරමුණ ප්‍රේක්ෂකයාට රසාද්වාදය ලබාදීම. එහිදී එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ප්‍රශ්න ගොන්නෙන් මිරිකිලා ජීවත් වෙන මිනිස්සුන්ගේ විඩාව නිවීම සඳහා පැය භාගයක් හරි ඔවුන්ව සතුටින් තැබීම අපේ අරමුණ වෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයන් මේ නාට්‍යය ගොඩාක් ආදරයෙන් වැලඳ ගනීවි කියලා මම විශ්වාස කරනවා.


 නාට්‍යයක විකාශය කාලය ප්‍රේක්ෂකයන් රඳවා තබා ගැනීමට උපකාරී වන බව ඔහු පවසනවා.


 මේ මස 09 සිට දෙරණ නාලිකාවෙන් සතියේ දින පහේම රාත්‍රි 9.00 සිට 9.30 දක්වා පැය භාගයක විකාශන කාලයක් මේ සඳහා ලැබිලා තිබෙනවා. මම අවුරුදු තිහකට වඩා වැඩි කාලයක් රූපවාහිනී මාධ්‍යයේ ඉන්න කෙනෙක්. ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න හොඳම කාලය රාත්‍රි 8.30 සිට 9.30 දක්වා කියන කාරණාව එහිදී මම විශ්වාස කරනවා. ඉස්සර ප්‍රයිම් ටයිම් කියලා කිව්වේ රාත්‍රි 8.30ට. එදා වගේ නොවෙයි අද ටෙලි නාට්‍යය වැඩියි. මිනිස්සුන්ගේ ඉල්ලීම් වැඩියි. ඒ නිසාම හවස 5.55 ඉඳලා නාට්‍යය විකාශය වෙනවා. එයිනුත් හොඳම කාලය රාත්‍රි 8.30 සිට 9.30 කාලයයි.


 මෙම රූගත කිරීම සඳහා තෝරාගත් දර්ශන තල ගැන කතා කිරීමටත් අමතක කළේ නැහැ.


 මේ නාට්‍යයේ මනමාලියන් හත්දෙනා ඉන්නේ හත්පොළක. ඒ නිසා මෙහි රූගත කිරීම් කරන්නේ ප්‍රදේශ හතක. ඒ අනුව නුවර, කුරුණෑගල, ගාල්ල, කොළඹ වගේ ප්‍රදේශය තෝරාගෙන තිබෙනවා. මේ දිනවල එහි පළමු මනාලිය එක්ක නුවර වැඩ. මෙම නාට්‍යයේ රූගත කිරීම් ගෙවල් ඇතුළට සීමා නොවී එම ප්‍රදේශයේ මිහිරියාව පෙන්වමින් සිදුකිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව තිබෙනවා.


 ටෙලිනාට්‍යය නිෂ්පාදනය සමග පැමිණි දීර්ඝ කාලීන ගමන් මග පිළිබඳ කතා කිරීමටද මෙය අවස්ථාවක් කර ගත්තා.


 මම ටෙලි නාට්‍යය නිෂ්පාදනය ක්ෂේත්‍රයේ වසර තිහකට වඩා වැඩි කාලයක් ඉන්නවා. වීදුරුමල් දෙරණ නාලිකාවෙන් විකාශය වුණ පළමු ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නනෙත් මම. ඒ මීට වසර විස්සකට කලින්. ඒ අවුරුදු විස්සක කාලය පුරාම මම ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ දෙරණ නාලිකාවට විතරයි.


 හත්වෙනි මනාලී ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා තිලිණ බොරලැස්ස. ඔහුත් මම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යය තුළින්ම අධ්‍යක්ෂණයට පිවිසුණ කෙනෙක්. මේවන විට හොඳට වැඩ කරගෙන යන අධ්‍යක්ෂවරයෙක්. මේ ටෙලි නාට්‍යයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඉතාමත් පරිස්සම්වෙන්න අපිට සිද්ද වුණා. නළු නිළියන් තෝරාගැනීම වෙනුවෙන් වැඩිම කාලයක් යෙදෙව්ව ටෙලි නාට්‍යය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ටෙලි නාට්‍යය තුළින් නවක නිළියක් කලා ක්ෂේත්‍රයට හඳුන්වා දීමත් සිදුවෙනවා.


 ඉදිරියේ නිෂ්පාදනය කරන නව නිර්මාණ පිළිබඳ පවසන්නටත් අමතක කළේ නැහැ.


 නාරි මම නිෂ්පාදනය කරන නවතම ටෙලි නාට්‍යයේ පෙර සූදානම් වීම මේ දිනවල සිදුවෙනවා. එම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරිය ලෙස ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය බවත් මේ කතාබහ අවසානයේ පැවසුවා. 

 

More News..